ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යළි දේශපාලන මහ ගෙදරට -චන්ද්‍රිකා

තමන්ගේ දේශපාලන මහ ගෙදරට යළිත් වතාවක් පැමිණීමට අවස්ථාව ලැබුණු බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

ඇය මේ බව කියා සිටියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍යය ඇමති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම කොළඹ නව නගර ශාලාවේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින්.

‘රටේ ජනතාවගේ සම්පත් සූරා කනවා. උද්ධමනය වැඩි කරලා. මහ බැංකුවෙන් පෙන්වන ගණන් හිලව් නොවෙයි ඇත්තටම තියෙන්නේ. .... දූෂණය අද රජ කරලා තියෙන්නේ. ඒවාට විරුද්ධව කටයුතු කරන පොලිසියේ අයට දඬුවම් කරනවා. අහක බලාගෙන ඉන්න අයට ප්‍රොමෝෂන් දෙනවා.’ හිටපු ජනපතිනිය තවදුරටත් කියා සිටියේය.

ආණ්ඩුවෙන් ඉවත් වන අයට චෝදනා එල්ල වන වාතාවරණයක් යටතේ මෛත්‍රීපාල සිරිසේනගේ අනාගතය පිළිබඳව බීබීසී වාර්තාකරු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ චෝදනා වලට වඩා වැඩි දේ තමන්ට සිදු විය හැකි බවයි.

තමන් ජනපති ධූරයට පත් වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කරන බවද දින සියයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව ද ඔහු තවදුරටත් පැවසීය.

එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ධීවර ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ‘රජ ගෙදර වට්ටවා’ පොදු අපේක්ෂකයා දිනවීමට උපරිම ශක්තිය යොදන බවයි.

මෙම සටනේ අතරමග දී මිය‍ ගියහොත් තමන්ගේ මළ මිනිය කර මත තබා ගෙන හෝ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දෙන්නැයි වෛද්‍ය රාජිත සේනාරත්න ඉල්ලා සිටියේය.

තව බොහෝ පිරිසක් පොදු අපේක්ෂකයා වටා රොක් වීමට සිටින බවද ඔහු පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ධීවර ඇමති රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, වසන්ත සේනානායක, දුමින්ද දිසානායක, රජීව විජේසිංහ, එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන ඇතුළු දේශපාලනඥයන් පිරිසක් සහභාගී විය.