මෛත්‍රිපාල සිරිසේන; දේශපාලන ගමන් මග

Image copyright AFP

මී ලඟ ජනාධිපතිවරණයේ දී විපක්ෂ සන්ධානයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කෙරෙන මෛත්‍රීපාල සිරිසේන සිය තරුණ වියේ පටන් ම ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ පෙරළිකාරී චරිතයකි.

1951 සැප්තැම්බර් 03දා උපත ලද මෛත්‍රීපාල සිරිසේන පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

වසර හතළිහකට ආසන්න දේශපාලන ඉතිහාසයක් සහිත මෛත්‍රීපාල සිරිසේන මුල් වරට පාර්ලිමේන්තුවට පිවිසුණේ 1989 මහා මැතිවරණයෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ ඔහු පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව කලක් ග්‍රාම සේවක නිලධාරියකු හැටියටයි වෘත්තීය ජීවිතය ආරම්භ කළේ.

සිය තරුණ වියේදීම 1979 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත් මෛත්‍රීපාල සිරිසේන පසු කාලයේ එම සංවිධානයේ සභාපති පදවිය තෙක් ගමන් ගත්තේය.

1971සිරකරුවා

වසර හතළිහකට ආසන්න ඔහුගේ දේශපාලන ජීවිතයේ තවත් කඩයිමක් වන්නේ 1971 අප්‍රියෙල් කැරැල්ල සමයේ කෙටි කාලයකට සිරගත කරනු ලැබීමයි.

Image copyright AFP

1994 ජනාධිපතිවරණයෙන් බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ අලුතින් පිහිටුවන ලද ගංගා නිම්න සංවර්ධන සහ රජ රට සංවර්ධන ඇමති පදවිය දැරූ මෛත්‍රීපාල සිරිසේන එම පාලන කාලය ඇතුළතයි, ඔහු නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පදවියට පත් කෙරුණේ.

2005 වසරේ බලයට පැමිණි මහින්ද රාජපක්ෂ රජය ආරම්භයේ දී ඔහු

උසුලන ලද්දේ කෘෂිකර්ම සංවර්ධන සහ කෘෂි සේවා ඇමති පදවියයි.

එහෙත් පසු කාලයේ සිදු කෙරුණ කැබිනට් සංශෝධනයේ දී ඔහුට එම ඇමති පදවිය අහිමි කෙරුණ අතර ඒ වෙනුවට සෞඛ්‍යය ඇමති පදවියයි පවරන ලද්දේ.

පොදු අපේක්ෂක

Image copyright AP

යුද සමයේ LTTE මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් ඔහුගේ ජීවිතය බේරුණි.

2008 දී වසරේ එල්ල කෙරුණ දෙවැනි මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ දී එක් ජීවිත විනාශයක් සිදුව කීප දෙනෙක් තුවාළ ලද නමුත් ඔහුගේ ජීවිතය බේරුණි.

පසුගිය දා 2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන අද සිකුරාදා (21) ආණ්ඩුවෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව තරඟ වදින බව ප්‍රකාශයට පත් කළේය.

මී ළඟ ජනාධිපතිවරණය ලබන ජනවාරි 08 වෙනි දින පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.