වමෙන් අපේක්‍ෂකයන් තුන් දෙනෙක්

Image caption වමේ නායකයෝ උද්ඝෝෂණයක

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකාවේ කුඩා දේශපාලන පක්ෂ විසින් අනුගමනය කරනු ලබන දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී වාමාංශික දේශපාලන පක්ෂ තුනක නායකයන් කියා සිටියේ ඔවුන් ද ජනාධිපති ධූර අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවයි.

මේ අනුව පෙරටුගාමී සමාජවාදී, නව සම සමාජ සහ එක්සත් සමාජවාදී යන වාමාංශික පක්ෂ තුනම අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට නියමිතයි.

බීබීසී සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ, විපක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා හැටියට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමේ උත්සාහයක තමා නිරත වෙමින් සිටි අතර එම ප්‍රයත්නය අසාර්ථක වූයෙන් තම පක්ෂයත් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි.

පසුගිය අවධිය තුළ සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනු ලැබීමට දායක වූ මට්ටම අනුව වඩාත් විශ්වාසයක් තැබිය හැකි නායකයා රනිල් වික්‍රමසිංහ බවයි, නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ.

වමේ අසාර්ථක සාකච්ඡා

එක්සත් සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය පවසන්නේ, වමේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා සෙසු වාමාංශික දේශපාලන පක්ෂ කීපයක් සමඟ සාකච්ඡා පවත්වන ලද නමුත් ඒවා බිඳ වැටුන බවයි,

එවැනි තත්වයක් යටතේ තමන් ද වෙනම අපේක්ෂයකු ඉදිරිපත් කරන බව එක්සත් සමාජවාදී පක්ෂය පවසයි.

තමන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමඟ එක්ව පොදු වාමාංශික අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වුනේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පවතින මතවාදී ගැටළු නිසා බවත් එක්සත් සමාජවාදී පක්ෂය පවසයි.

පාලක පන්තිය අර්බුදයක

සංදේශය සමඟ සාකච්ඡාවක දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ කියා සිටියේ තම පක්ෂය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන අතර සිය අපේක්ෂකයා ඉදිරි දින කීපය ඇතුළත ප්‍රකාශයට පත් කරන බවයි.

නව සමාජ පක්ෂය තුළ වෙනම කණ්ඩායමක් හැටියට ක්‍රියාත්මක වෙන ලීනස් ජයතිලක ඇතුළු කණ්ඩායම පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් පෙරටුගාමී සමාජවාදී අපේක්ෂකයාට ආධාර කරන බවයි.

පාලක පන්තිය අර්බුදයට ලක්ව සිටින මේ මොහොතේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම බැරෑරුම් උවමනාවක් වී ඇති අතර, මේ වන විට බෙදීමක් ඇතත් මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන කණ්ඩායම් දෙකම ධනපති උවමනාවන් ඉටු කරන හෙයින් තමන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයාට සහයෝගය දෙන බවයි නව සම සමාජ පක්ෂයේ නියෝජ්‍ය ලීනස් ජයතිලක පවසන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ මතය විමසූ විට ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ තම ස්ථාවරය තීන්දු කිරීමට තවත් කාලය අවශ්‍ය කරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර