ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ - කෙහෙළිය

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් තවත් පිරිසක් විපක්‍ෂයට එක්වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව ආණ්ඩුව ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම ආණ්ඩුව හැර යන මන්ත්‍රීවරුන්ගේ සියලු වරප්‍රසාද අහිමි කිරීමේ අරමුණින් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ආණ්ඩුවේ ඉහල නායකයන්ගේ අවධානය පළ වී තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට තිබිණ.

"නෑ එහෙම අවශ්‍යතාවයක් නෑ. මේ මොහොත වෙනකොට එහෙම තීන්දුවක් නෑ," යන්නයි ඒ පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ ප්‍රතිචාරය වූයේ.

කලක් එක්සත් ජාතික පක්ෂයේ (එජාප) මුල් පෙලේ මන්ත්‍රීවරයකු වූ අමාත්‍ය රඹුක්වැල්ල, පක්ෂය හැර ගොස් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට එක් වූ මුල්ම එජාප මන්ත්‍රී පිරිස අතරින් කෙනෙකි.

තිස්ස අත්තනායක

තමන් එදා පක්ෂය හැර ගියේ එල්ටීටීඊය සමඟ හිතුමතයේ ගිවිසුමක් අත්සන් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ ගත් පියවරට එරෙහිව බව සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී කියා සිටි අමාත්‍යවරයා, කෙසේ නමුත් මෙවර ආණ්ඩුව හැරයාමේ කිසිදු සූදානම් නැති බව අවධාරණය කළේය.

"මගේ නම එතන නෑනේ. ඒ හැට දෙකෙත්, හැට හතෙත් නෑ. හතලිහෙත් නෑ, විසි හතෙත් නෑ," යන්නයි ආණ්ඩුව හැර යන්නේ දැයි විමසූ විට ඔහුගේ ප්‍රතිචාරය වූයේ.

මෛත්‍රීපාල සිරිසේන, දුමින්ද දිසානායක සහ රාජිත සේනාරත්න අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් අනතුරුව තවත් මැති ඇමතිවරුන් පිරිසක් ඉවත්වීමට සූදානමින් සිටින බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක ආණ්ඩුවට එක්වීම සඳහා සාකච්ඡා පවත්වමින සිටින බව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එවැනි සාකච්ඡාවක් පැවැත්වෙන්නේ දැයි විමසූ විට කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරයා කියා සිටියේ, එවැනි රහසිගත සාකච්ඡා මාධ්‍යවලට හෙළි කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

පක්ෂය හැර යාමට සූදානමින් සිටින බවට පළ වන වාර්තා පිළිබඳව විමසීම පිණිස තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.