ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මෛත්‍රී දළදා වැඳීමෙන් පසු අනුරාධපුරයට

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අද (24) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමේ සංචාරයක නිරත වූ බව ප්‍රාදේශීය මාධ්‍යවේදී අතුල බණ්ඩාර වාර්තා කරයි.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා සමඟ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මණ්ඩලයේ කරු ජයසූරිය, ජාතික සංවිධායක දයා ගමගේ, දුමින්ද දිසානායක, එම් කේ ද ඇස් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරුන් කීප දෙනකුද ශ්‍රී මහා බෝධිය කරා ලඟා වූ බවයි වාර්තා වන්නේ.

සුදු හා රතු නෙළුම් මලින් ශ්‍රී මහා බෝ සමිඳුන් පුදා වන්දනා මාන කළ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දුටුවේය.

ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ ලබන දෙසැම්බර් අට වෙනිදා ජනාධිපතිවරණ නාම යෝජනා භාර දෙනු ලැබීමෙන් අනතුරුව තමා කිසිදු තනි පක්ෂයක අපේක්ෂකයකු නොව ‘පොදු අපේක්ෂකයා’ වන බවයි කියා සිටියේ.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඉතා සාමකාමී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන බවයි.

දළදා මාලිගාවට

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අනුරාධපුරයට ලඟා වීමට පෙර මහනුවර දළදා මාලිගාවට ගොස් ආගමික කටයුතුවල නිරත වූ අතර මල්වතු අස්ගිරි විහාරවලට ද ගියේය.

එම අවස්ථාවේ මහනුවර ප්‍රාදේශීය දේශපාලන නායකයන් වන ලක්ෂ්මන් කිරිඇල්ල සහ දළදා මාලිගාවේ හිටපු දිය වඩන නිලමේ නිරන්ජන් විජේරත්න ද ඔහුට එක් ව සිටියේ ය.

අස්ගිරි මහා විහාරයේ දී පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනා හිමියන් බැහැ දුටු ඔහු මල්වතු මහා නා හිමියන් විදේශ සංචාරයක නිරත වෙමින් සිටින හෙයින් පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි අනු නා හිමියන් බැහැ දුටු බව ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න වාර්තා කරයි.