පාප් වහන්සේගේ සංචාරය නිසා ඡන්ද ප්‍රචාරණයට සීමා

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් සාමාන්‍යයෙන් ඡන්ද ප්‍රචාරණයට ලබා දෙන කාලයට වඩා අඩු කාලයක් මෙවර ජනාධිපතිවරණයට ලබා දීමට සිදු වූ බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

කොළඹ මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඒ බව කියා සිටියේ මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී ඇති කාලය මාසයකට සීමා වීම පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

‘පාප් වහන්සේගේ ලංකාවට එන ගමන නොතිබුණා නම් අපිට එක කරන්න තිබුණා, අනික එක එහෙම අඩුයි කියන්න බැහැ. පළවෙනි ජනාධිපතිවරණයේදීත් දවස් තිස්තුනයි තිබුණේ, මේකට තිස් එකක් තියෙනවා’යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් ඉදිරිපත් වූයේ දැයි බීබීසී සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එවැනි කිසිදු ඉල්ලීමක් රජයෙන් ඉදිරිපත් නොවූ බවයි.

ජනාධිපතිවරණය ජනවාරි අට වනදාට යොදා ගත්තේ ජ්‍යෝතිෂවේදීන්ගේ අදහසකට අනුව යැයි සඳහන් කරමින් පළ වන වාර්තා මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රතික්ෂේප කළේය.

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ආගමික උත්සවයක් වශයෙන් සලකා එවැනි තීරණයක් ගත් බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩි දුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය පළකරමින් ඉදි කර තිබෙන ප්‍රචාරක පුවරු ඉවත් කරන්නේදැයි විමසූ විට කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියේ එවැන්නක් කිරීමට ඔහුට බලයක් නැති බවයි.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් තමන්ට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය.