ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව 'අධිකරණ ක්‍රියාමාර්ග'

Image copyright CAFFE
Image caption එජාප ආධාරකරුවන්ට එරෙහිව වෙඩි තැබීම් හතරක්. 'ඇසින් දුටු සාක්ෂි පවා තිබුණත් ප්‍රශ්න කිරීමක් පවා සිදු වී නැහැ' - කැෆේ

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ලේඛනගත කිරීමේ සහ වාර්තා කිරීමේ සුපුරුදු ක්‍රියාදාමයෙන් ඔබ්බට යමින් ප්‍රචණ්ඩ කියාවලට එරෙහිව අධිකරණය ඉදිරියට යාමට සූදානම් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

ඒ වෙනුවෙන් නීතිඥ සහාය ලබාදීමට බදාදා නිරීක්ෂකයන් සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය එකඟ වූ බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ (කැෆේ සංවිධානය) රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට පැවසීය.

"අපි ඒ ක්‍රියාවලිය ඔස්සේ ඉදිරියට යන්නට වෘත්තීය සමිති ගණනාවක්, ක්‍රියාධරයන්, සිවිල් සංවිධාන අද පොදු එකඟතාවයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ ඇතිකර ගත්තා," යනුවෙන්ද ඔහු සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

නීතිඥ සංගමය සතුව ඒ සඳහා ප්‍රතිපාදන තිබෙන අතර, මීට ඉහතදී වැලිවේරිය ප්‍රදේශවාසීන් වෙනුවෙන් නීතිඥ සංගමය මේ අයුරින් මැදිහත් වී තිබෙන බවත් රජිත් කීර්ති තෙන්නකෝන් සිහිපත් කළේය.

'සටන' වැඩසටහන

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීමටත් පෙරාතුව ප්‍රචණ්ඩ ක්‍රියා පමණක් නොව මාධ්‍ය වාරණයක් ද දියත් කොට තිබෙන බවට බලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ.

විශේෂයෙන්ම පියෝ ටීවී, සහ ඩයලොග් රූපවාහිනිය පසුගිය සෙනසුරාදා සිරස නාලිකාවේ 'සටන' වැඩසටහන විකාශනයට බාධා කිරීම පැහැදිලි ලෙසින්ම මාධ්‍ය වාරණයක් බවයි කැෆේ සංවිධානය පවසන්නේ.

සටන වැඩසටහන 'වාරණය කිරීමට' එරෙහිව මැතිවරණ දෙපාර්තමේන්තුවට බොහෝ පැමිණිලි ලැබී තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් දක්වා තිබෙන ප්‍රතිචාරය 'හාස්‍යජනක' බවද කැෆේ සංවිධානයේ ප්‍රකාශකයා සංදේශයට පැවසීය.

එහෙත් එම වැඩසටහනට බාධා කළ බවට කිසිදු පැමිණිල්ලක් තමන් වෙත ලැබී නැති බවයි, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පොදු අපේක්ෂකයා ලෙසින් නම්කරනු ලැබීමෙන් අනතුරුව බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා හයක් වාර්තා වී තිබෙන බවද කැෆේ සංවිධානය පවසයි.

ප්‍රචණ්ඩ ක්‍රියා හයක්

ඒ අතරින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මග්ගොන ප්‍රාදේශීය සභා සභාපති චමිල රණසිංහට වෙඩි තබා බරපතල තුවාල කිරීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා හතරක්ම ගිනි අවි භාවිත කිරීමේ සිදුවීම් බවද රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කළේය.

මාදම්පේ සහ මාදම්පේ මැදගම ප්‍රදේශයේදීත්, හාරිස්පත්තුවේදීත් එජාප ආධාරකරුවන්ට තවත් වෙඩි තැබීම් තුනක් සිදු වී තිබේ.

මේ බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන, ඡායාරූප සහ ඇසින් දුටු සාක්ෂි ඇතුළු බොහෝ සාක්ෂි තිබෙන නමුත් මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් මතු නොව ප්‍රශ්න කිරීමක් පවා සිදු වී නොමැති බවද කැෆේ සංවිධානය පවසයි.

එම චෝදනාව පිළිබඳව විමසීම පිණිස පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර