මැද පෙරදිග ගෘහ සේවිකාවන්ගේ සේවා කාලය පැය 8 සීමාවකට

Image copyright AFP

මැද පෙරදිග රටවල සේවය කරන ලක්ෂ 24 ක් පමණ වන ගෘහ සේවිකාවන් ඇතුළු ගෘහස්ථ සේවකයන්ගේ සේවා තත්වයන් ඉහල නැංවීම පිණිස සේවා කොන්ත්‍රාත්තුවල අවම කොන්දේසි හඳුන්වා දීමට ගල්ෆ් රටවල කම්කරු ඇමතිවරු එකඟවී සිටිති.

මේ අනුව ගෘහස්ථ සේවක සේවිකාවන්ට සතියකට දිනක් නිවාඩු ලබා දීමටත්, දිනකට වැඩ කළ යුතු කාලය පැය අටකට සීමා කිරීමටත්, වාර්ෂික නිවාඩු ලබා දීමටත්, සේවා යෝජකයා නැත්නම් හාම්පුතාගේ නිවසින් බැහැරව ජීවත්වීමට ඇති අයිතියත් නව ගිවිසුම මගින් තහවුරු කොට තිබේ.

දැඩි විවේචන

මැද පෙර දිග සේවය කරන ගෘහ සේවිකාවන්ට විඳීමට සිදුව ඇති විවිධ තාඩන පීඩන මෙන්ම දිවා රෑ නොමැතිව සේවය කිරීමට සිදුවීම ආදී තත්වයන් හේතුවෙන් එම රටවලට දැඩි විවේචන එල්ල විය.

ගෘහ සේවිකාවන්ගේ සේවා කොන්දේසි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස රටවල් හයකින් සැදුම්ලත් ගල්ෆ් සහයෝගිතා මණ්ඩලය කුවේට් රාජ්‍යයේ දී ආසියානු රටවල කම්කරු ඇමතිවරුන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටිති.

මානව හිමිකම්

කුවේටයේ මිනිස් බල අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ජමාල් අල් දොසාරි ඒ එෆ් පී පුවත් සේවයට පැවසුවේ අදාළ නව සේවා කොන්දේසි ඇතුළත් කොන්ත්‍රාත්තුව ගල්ෆ් සහයෝගිතා මණ්ඩලයේ කම්කරු ඇමතිවරුන් විසින් අනුමත කොට ඇති බවයි.

විශේෂයෙන්ම ගෘහස්ථ සේවක සේවිකාවන් ඇතුළු සංක්‍රමණික සේවකයන්ට අසාධාරණ ලෙස සලකන බවට බහරේන්,කුවේට්,ඕමාන්,කටාර්,සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් බරපතළ විවේචන එල්ල වී තිබිණ.