ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බොදු බල සේනා සහයෝගය රජයට

ලබන ජනවාරි අට වෙනි දින පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තම සංවිධානයේ සහයෝගය දෙන බව බොදු බල සේනා සංවිධානය පවසයි.

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී අදහස් දක්වමින්, සිය සංවිධානය දේශපාලන ව්‍යාපාරයක් නොව ජාතික ආගමික පුනර්ජීවන ව්‍යාපාරයක් වන නමුත් 2015 ජනාධිපතිවරණය තීරණාත්මක කඩයිමක් බවට පත්ව ඇති අතර මේ මොහොතේ රටට එරෙහිව එල්ල වෙමින් පවතින අභියෝගය හමුවේ නිහඬව සිටිය නොහැකි හෙයින් එවැනි තීන්දුවක් ගත් බවයි කියා සිටියේ.

විකල්ප හතරක්

මෙම ජනාධිපතිවරණයේ දී සිය සංවිධානය විසින් තෝරා ගත යුතු විකල්ප හතරක් තිබුණ බවයි ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසන්නේ.

‘පළමුවැන්න, පවතින රජයට උදව් කිරීම. දෙවැන්න, විපක්ෂයට උදව් දීම. තුන් වන්න, ස්වාධීනව සිටීම. සිව්වැන්න, අපේ ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම. දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අපි ගත් තීන්දුව වුණේ රට පත් ව ඇති අභියෝගය හමුවේ පවතින රජය උදව් කිරීමයි ’ ඥානසාර හිමියෝ පවසති.

පොදු අපේක්ෂකයා

බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් හිමියන් කියා සිටියේ ඔහු ඉතා යහපත් දේශපාලන චරිතයක් වන බවයි.

‘මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉතා හොඳ මහත්මයෙක්. ඒ ගැන කතා දෙකක් නැහැ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එතුමා හිට ගෙන ඉන්නේ කවුරුන් සමඟද කියන එකයි’ ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කරති.

බොදු බල සේනා සංවිධානය සුළු ජාතීන් සහ සුළු ආගමික කණ්ඩායම් වලට එරෙහි සංවිධානයක් හැටියට පවතින චිත්‍රය හමුවේ එම සංවිධානය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත් වීම එම කණ්ඩායම් විසින් කෙසේ තේරුම් ගනු ඇද්දැයි විමසූ විට උන්වහන්සේ සඳහන් කළේ ‘තමන් එරෙහි අන්තවාදීන්ට පමණක්’ බවයි.