ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණ නැහැ ’- මෛත්‍රී

ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ පවුලේ සාමාජිකයකු හෝ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කිසිවකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙන යාමට ඉඩ නොතබන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියි.

පොදු අපේක්ෂකයා එම අදහස පළ කළේ සිය මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ ව දැනුවත් කිරීමට අද සිකුරාදා (28)කැඳ වූ ජන මාධ්‍ය සාකච්ඡාවක දී.

ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වුනොත් ඔහු යුද අපරාධ අධිකරණයට ගෙන යන බවට පසුගිය දා ගෝලීය දෙමළ සංසදය විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව අදහස් පළ කළ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන, යුද ජයග්‍රහණයට දායක වූ කිසිදු පුද්ගලයෙකු ජාත්‍යන්තර අධිකරණයකට ගෙන යාමට තම පාලනය යටතේ ඉඩක් නොදෙන බවයි කියා සිටියේ.

‘මගේ ජයග්‍රහණයෙන් පසුව මම මහින්ද රාජපක්ෂ මහතා, එතුමාගේ පවුලේ සාමාජිකයන් එසේම රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට කටයුතු කළ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු සියලු දෙනාම ආරක්ෂා කරනවා’ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් සිදු කරවාදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුව ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වන බවයි.

රාජ්‍ය සම්පත් මැතිවරණයට

Image copyright AP

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය සම්පත් හා මුදල් යොදා ගනිමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන බවට චෝදනා කළ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන, මේ වන විට රට පුර අලවා ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෝස්ටර් හා ‘කටවුට්’ පිළිබඳවත් අවධානය යොමු කළේය.

‘ඕන තැනක ‘කටවුට්’ ගහ ගන්න. සීගීරි ගලෙත් කටවුට් ගහ ගන්න. සමනළ කන්දෙත්, සිංහරාජයේත්,බෝක්කුවලත් ඕන තැනක ඕන තරම් ‘කටවුට්’ ගහ ගන්න,මේ ගහල තියෙනවා ගොඩක් මදි. හැබැයි අට වෙනිදා වෙන කොට ඒවා ඕන’ පොදු අපේක්ෂකයා පවසයි.

සිය ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී අනවශ්‍ය ලෙස ‘කටවුට්’ හා පෝස්ටර් භාවිත නොකරන බවයි ඔහු මාධ්‍ය හමුවේ දී කියා සිටියේ.

ඌව පළාත් සභාවේ කටයුතු ජනාධිපතිවරණය අවසන් වන තෙක් ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය ගත පියවර ගැන සඳහන් කළ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන, ඊට හේතුව වශයෙන් ආණ්ඩුව දක්වන ‘ශීත කාලගුණය’ ගැනත් අදහස් පළ කළේය.

පළාත් සභාවට උන හැදිලා

‘ඌව පළාත් සභාව ඇතුළු පළාත් සභා තුනකට උන! සන්ධානයට අයිති පළාත් සභා තුනක්. ආණ්ඩුව ජනාධිපතිවරණය ඉවර වෙන කම් පළාත් සභා රැස්වීම් කැඳවන්නේ නැහැ. බලා ගෙන ඉඳිමු ඉදිරියේ දී මොකද වෙන්නේ කියලා’ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සඳහන් කළේය.

එක්සත් ජාතික සන්ධානයට ඉදිරියේ දී පළාත් කීපයකම බලය අහිමි වන බවයි, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉහත කී මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ.

රාජපක්ෂ පවුල පිළිබඳ ව වාර්තා නො කරන ලෙස මාධ්‍යවේදීන්ට වාරණ පනවා ඇති බවත් හිටපු ඇමතිවරයා සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ තවත් දේශපාලනඥයන් කණ්ඩායමක් ඉදිරි සතියේ විපක්ෂයට එක් වන බවට හිටපු ධීවර ඇමතිවරයා ඉඟියක් ද පළ කළේය

ශ්‍රී ලංකාවේ බෞද්ධ බලවේගය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සමග එක්වීම ඉදිරි මැතිවරණ ක්‍රියාදාමය තුළ සියළු දෙනාට දැක ගත හැකි බවයි ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් එම අවස්ථාවේ ප්‍රකාශ කළේ.

බොදු බල සේනා සංවිධානය ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දීමට ගත් තීරණය ගැන බිබිසිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රතන හිමියන් සඳහන් කළේ ‘කුමන සංවිධාන කාට සහය පළ කළත් ශ්‍රී ලංකාවේ බෞද්ධ සමාජය පොදු අපේක්‍ෂක වැඩ පිළිවෙළ සමග පෙළ ගැසෙන’ බවයි.