ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මාලකට රාත්‍රි සමාජ ශාලා තහනම්

බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි මාලක සිල්වා ඇතුළු සැකකරුවන් හය දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

ඇමති මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වාට ඇප නියම කළ මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන්, අදාළ නඩු විභාගය අවසන් වන තුරු රාත්‍රි සමාජ ශාලාවලට යාමෙන් සහ ජනතාව බිය ගන්වන ආකාරයට හැසිරීමෙන් වළකින ලෙස ඔහුට නියෝග කළේය.

එහෙත් එම ඇප කොන්දේසිය තමන් පිළි නොගන්නා බවයි විත්තියේ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය කියා සිටියේ.

‘එම කොන්දේසිය අපට පිළිගන්න බැහැ . රාත්‍රි සමාජ ශාලාවලට යාම කියන්නේ මිනිසෙකුගේ මූලික අයිතිවාසිකමක්. ඒක කප්පාදු කිරීමට අධිකරණයකට හැකියාවක් නැහැ. ඒ නිසා ඊට එරෙහිව ඉහල අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා’ නීතිවේදියා පවසයි.

විත්තියේ ප්‍රතිචාරය

අදාළ නඩුව විභාගය සඳහා අද (28) කැඳ වූ අවස්ථාවේ දී හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වුන අතර පැමිණිලිකාර බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් සැකකාර මාලක සිල්වා හඳුනා ගනු ලැබුනත් සෙසු සැකකරුවන් හය දෙනා හඳුනා ගැනීමට ඔහු අසමත් විය.

සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් පොලිසියෙන් විරෝධයක් පළ නොවුණි.

ඒ අනුව සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සාක්කි කරුවන්ට බලපෑමක් සිදු වන ආකාරයෙන් කටයුතු කළොත් එම ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වන තෙක් ඔවුන් යළිත් රිමාන්ඩ් භාරයේ තබන බවයි කියා සිටියේ.

නඩු විභාගය අවසන් වීමෙන් පසුව අධිකරණයෙන් පිටතට පැමිණි මර්වින් සිල්වා ඇමතිවරයාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ, රජයෙන් ඉවත් ව යාමේ සූදානමක් තිබේද යන්න පිළිබඳවයි.

‘මේක අපි හදපු ආණ්ඩුව. ඉතින් අපි ඇයි යන්නේ? ප්‍රශ්න තියනවා. ඒත් අපි ආණ්ඩුව ඇතුළේ ම ඒවා විසඳා ගැනීමට තවදුරටත් උත්සාහ කරනවා’ ඇමතිවරයා පිළිතුරු දුන්නේය.

නඩු විභාගය දෙසැම්බර් මස දහනව වෙනි දිනට කල් තැබුණි.