සමසමාජ සහයෝගය කොන්දේසි මත

Image caption තිස්ස විතාරණ සහ ලාල් විජේනායක

ලංකා සම සමාජ පක්ෂය මෙවර ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සහයෝගය දෙන්නේ කොන්දේසි මත යයි එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සභික අනිල් සොයිසා පවසයි.

අද(29) සිය පක්ෂ මූලස්ථානයේ දී රැස් වූ සම සමාජ ආසන සංවිධායකයන් විසින් එම තීන්දුව ගත් බවයි, අනිල් සොයිසා බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී කියා සිටියේ.

‘2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ මහින්ද චින්තන ප්‍රතිපත්තිය ඒ වගේම 2010 ඉදිරිපත් කළ මහින්ද චින්තන ඉදිරි දැක්ම යන ප්‍රතිපත්ති මාලා මගින් වෙච්ච පොරොන්දු ඉටු කළ යුතුව ඇති බව අපි කියල තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය කියන සම සමාජ පක්ෂයේ දීර්ඝ කාලීන මතය අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරලා තියෙනව’ සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයා කියා සිටියි.

ලංකා සම සමාජ පක්ෂය පමණක් නොව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු සමාජවාදී ජනතා පෙරමුණ ඉටු විය යුතු කාරනා ඇතුළත් යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කරන බවයි පවසන්නේ.

පක්ෂය බෙදිලා

ලංකා සම සමාජ පක්ෂය එවැනි තීන්දුවක් ගනු ලැබ ඇතත් නීතිඥ ලාල් විජේනායක ඇතුළු එම පක්ෂයේ පැරණිතම සහ ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කරනවා නොවේදැයි ප්‍රශ්න කළ විට මධ්‍යම කාරක සභික අනිල් සොයිසා කියාසිටියේ එම කණ්ඩායම පක්ෂයේ මධ්‍යම කාරක සභාව වැඩි ඡන්දයෙන් ගත් තීරණයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටින බවයි.

‘අපේ පක්ෂයෙන් කිසිවකු අයින් වී නැහැ.මධ්‍යම කාරක සභාවේ බහුතරය තීන්දු කළා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දිය යුතු බව. ඒත් මධ්‍යම කාරක සභිකයන් දහතුන් දෙනෙක් තීන්දු කළා පොදු අපේක්ෂකයාට සහයෝගය දිය යුතු බව.ඔවුන් පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කරන බව අපට දැන ගන්නට ලැබී තිබෙනවා’අනිල් සොයිසා පවසයි.

එම කණ්ඩායම සම්බන්ධයෙන් පක්ෂය තීරණයක් ගනු ලබන බවද ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයා කියා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර