‘එක් පවුලක් විසින් පාලනය සහ භාණ්ඩාගාරය අතට ගෙන'

‘එක් පවුලක් විසින් මුළු මහත් රාජ්‍ය පාලනය සහ භාණ්ඩාගාරය අතට ගෙන ආණ්ඩුව යන දූෂිත ගමන’ නවතාලීමට ආණ්ඩුව තුළ සිට තමා විශාල සටනක් කළ බව පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුවේ පැවති සිය ජනාධිපතිවරණ සටනේ ආරම්භක රැළිය අමතමින්.

යුද්ධය දිනා රටට සාමය ඇතිවීමෙන් පසු රට නිසි මඟ යනු ඇති බවට විශ්වාසයක් තිබුනත් එය වෙනතකට ගමන් කිරීමට පටන් ගත් බව විපක්ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.

‘හොඳ පැත්තකට ආණ්ඩුව ගන්න ආණ්ඩුව ඇතුළෙ මං ගොඩක් සටන් කළා... පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ මං කතා කළා. මම ලියුම් ලිව්වා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට පියපු ලියුමේ පිටපත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ අතට එතුමා ඉස්සරහ දිම මම දුන්න... මට කිව්වා දූෂණය ගැන කතා කරනවා නම් ආණ්ඩුව ඇතුළෙ ඉන්න ඕන නැහැ, ඒකට විපක්ෂය ඉන්නවා කියල.’ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

තමා එල්ටීටීඊ හිතවාදියෙකු නොවන බව, ත්‍රස්තවාදීන් විසින් පස් වතාවක්ම තමන්ව ඝාතනය කිරීමට තැත් කිරීම තුළින් පැහැදිලි වන බවද පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.

තමා රජයෙන් ඉල්ලා අස්වීමත් සමඟ රජය දෙදරා ඇතැයි ද, ඉදිරියේදී තවත් පිරිසක් රජයෙන් ඉවත් වී යනු ඇතැයි ද විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ දී සිය ප්‍රථම ප්‍රචාරක රැළිය අමතමින් පැවසීය.

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් මෙම ජන රැළියට සහභාගී වී සිටියෝය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර