අපේක්‍ෂකයන් වත්කම් හෙළි කළ යුතුයි -නීතිවේදීන්

Image caption ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ ලේකම් නීතිවේදි අජිත් පතිරණ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් නාම යෝජනා භාර දෙන අවස්ථාවේ දී සිය වත්කම් සහ බැර කම් පිළිබඳ ප්‍රකාශ ඉදිරිපත් කිරීම අවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය පවසයි.

එහෙත් එම නීතිමය ප්‍රතිපාදනය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන බවයි එම සංගමයේ ලේකම් නීතිවේදි අජිත් පතිරණ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ.

‘මේක අනිවාර්ය අවශ්‍යතාවක්. ජනාධිපතිවරණ පනත සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශ පනත යටතේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුම නාම යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදී තමන් සතු වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශයක් මැතිවරණ කොමසාරිස්ට ඉදිරිපත් කල යුතුයි. එහෙත් එම නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි අප සංවිධානය බලා සිටිනවා’ නීතිවේදි අජිත් පතිරණ කියා සිටියේය.

අපේක්ෂකයින් විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදෙන අවස්ථාවක කුමන ක්‍රියාමාර්ගයක් ගත හැකි දැයි සංදේශය ප්‍රශ්න කළේය.

නඩු

‘මේක නීත්‍යනුකූල අවශ්‍යතාවක්. එය පැහැර හරින්න බැහැ. එසේ යම් අපේක්ෂකයෙකු පැහැර හරින අවස්ථාවක ඔහුගේ නාම යෝජනාව අවලංගු කරන මෙන් ඉල්ලා ඕනෑම පුරවැසියකුට නඩු පැවරීමට හැකියාවක් තිබෙනවා.’ නීතිවේදි අජිත් පතිරණ පැවසීය.

මේ අතර ජනාධිපතිවරයාට අදාලව ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති කඩ කිරීම් සිදු වන අවස්ථාවක ඊට එරෙහිව මැතිවරණ කොමසාරිස් හෝ පොලිස්පති නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඊට එරෙහිව නඩු පැවරීමට සිය සංගමය තීරණය කර ඇති බවද ඔහු කියා සිටියේය.

එවැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු ලබා දෙන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීම සඳහා සිය සංගමය මගින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවද ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ ලේකම් නීතිවේදි අජිත් පතිරණ පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර