නැගෙනහිර පළාත් සභාවේ ගුටිබැට

නැගෙනහිර පළාත් සභාවේ 2015 අයවැය ලේඛනය විවාදයට ගනිමින් පවතිද්දී එහි උද්ගත වූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් සභාව කල් තැබීමට සිදු විය.

අද (01) පළාත් සභාවේ අයවැය ඉදිරිපත් කරනු ලැබීම ආරම්භ වූ අවස්ථාවේ පටන්ම මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්වයක් දක්නට ලැබුණ බවයි, ‘ලක්බිම’ වාර්තාකරු ආර්.ජී.ධර්මදාස බීබීසියට සඳහන් කළේ.

‘එක අවස්ථාවක දී පළාත් සභා සභාපතිනියට රැස්වීම විනාඩි දහයකට කල් තැබීමටත් සිදු වුනා. ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව සිටින මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් තුන් දෙනා සභාවෙන් ඉවත් වීමත් සමඟයි, එම කල් තැබීම සිදු කෙරුණේ. විපක්ෂය එම කල් තැබීමට විරුද්ධ වුනා’ ආර්.ජී ධර්මදාස වාර්තා කරයි.

‘එවැනි වාද විවාද මැදයි පළාත් සභාව ඝෝෂාකාරී තත්වයක් කරා පරිවර්තනය වුණේ’ ඔහු වැඩිදුරටත් පවසයි.

අද රැස්වීම ව්‍යාකූල තත්වයක පවතිද්දී එක් මන්ත්‍රීවරයකු විසින් සෙන්කෝලය පැහැර ගැනීමත් සමගයි ගුටිබැට හුවමාරුව සිදු වී තිබෙන්නේ.

බල තුලනය

ඉහත කී ආකාරයේ ඝෝෂාකාරී වාතාවරණයක් සභාව තුළ පවතිද්දී ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු කතා සඳහන් කර ඇති අතර තවත් පිරිසක් ඊට විරෝධය පළ කළ බවයි ආර්.ජී.ධර්මදාස වාර්තා කරන්නේ.

එහෙත් සිංහල සහ දෙමළ භාෂා වලින් එකවර බොහෝ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීම නිසා මාධ්‍යවේදීන්ට ඔවුන් පවසන දේවල් තේරුම් ගැනීමේ දුෂ්කර තත්වයක් උදාවී ඇත.

මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන මට්ටමක සිටින මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් තුන් දෙනා විපක්ෂයට එකතු වුනොත් නැගෙනහිර පළාත් සභාව තුළ ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට මන්ත්‍රීවරුන් දහඅට දෙනා බැගින් හිමි වනු ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර