ආබාධිත රණවිරුවන්ගේ පෙත්සමට රජයේ විරෝධය

රජය විරෝධතා ඉදිරිපත් කිරීම හේතුවෙන් ආබාධිත යුද හමුදා සෙබළුන්ට හිඟ වැටුප් නොගෙවීමට එරෙහිව පවරා ඇති නඩුව සමතයට පත්කර ගැනීමට තිබූ අවකාශය බිඳ වැටී ඇතැයි ආබාධිත රණවිරුවන්ගේ සංගමය කියා සිටියි.

අදාළ නඩුව සමතයකට පත්කළ හැකි බව මිට පෙර රජයේ පාර්ශවයෙන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේ දී රජයේ නීතිවේදියා කියා සිටියේ අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරන මෙන් ඉල්ලා යුද හමුදාව විරෝධතා ගොනු කරන බවයි.

මේ හේතුවෙන් තමන් දිගටම නඩුව පවත්වාගෙන යාමට තීන්දු කල බවයි ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ සභාපති පි.වී.එස්. ශාන්ත පවසන්නේ.

“ මේක විශාල අසාධාරණයක්. ඇත්තටම අපි තමා සැබෑ රණවිරුවෝ. යුද්ධය නිසා ආබාධයට පත් විශාල පිරිසක් ඇප සමග සිටිනවා. ඔවුන්ට විශ්‍රාම වැටුප හිමිවන තුරු හිඟ වැටුප් ලැබීමට හිමිකම් තිබෙනවා. ඒවා ලබා දිය හැකියි. එහෙත් එය ලබා දීමට බලධාරීන් කටයුතු කරන්නේ නැහැ. මේක කණගාටුදායක තත්වයක්.” ඔහු කියා සිටියේය.

යුද්ධයෙන් ආබාධිත වූ යුද හමුදා සෙබළුන් 293 විසින් මෙම පෙත්සම ගොනු කර ඇති මෙම පෙත්සම ජනවාරි මස 29 කැඳවීමට නියම කළ අධිකරණය එදිනට නඩුව විභාග කරන බවයි ප්‍රකාශ කලේ.

පෙත්සම්කරුවන් පවසන්නේ තමන් ආබාධිත වන අවස්ථාවේදී ලැබූ මාසික වැටුප වයස අවුරුදු 55 දී විශ්‍රාම වයස එළඹෙන තුරු ලබා ගැනීමට හිමිකමක් පවතින බවයි.

එහෙත් ආබාධිත සෙබළුන්ට අදාළ මාසික වැටුප ගෙවීම් හමුදා බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇතිබව පවසන පෙත්සම්කරුවෝ මේ හේතුවෙන් තමන්ට විශාල මුදලක් හිඟ වැටුප් ලෙස ලැබීමට නියමිතව ඇති බව කියා සිටිති.

එම හිඟ වැටුප් ගෙවන මෙන් යුධ හමුදාපතිවරයාට නියෝගයක් පනවන ලෙස ඉල්ලමිනුයි අධිකරණය ට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර