මෛත්‍රී ආණ්ඩුවට හෙළ උරුමයෙන් මහින්දටත් ඇරයුම්

ඉදිරි ජනාධිපතිවරණයේ දී තම පක්ෂය සහය දෙන්නේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට බව ජාතික හෙළ උරුමය කියා සිටියි.

ඊයේ දිනයේ දී ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් හා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන අතර ඇති වූ ජාතික ප්‍රතිඥාවකට අනුව මෙම තීරණය ගත් බවයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හිටපු අමාත්‍ය චම්පික රණවක පිටකෝට්ටේ, සොලිස් හෝටලයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.

ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම, නීතියේ පාලනය නැවත ඇති කිරීම සහ යහපාලනය සම්බන්ධයෙන් වූ කරුණු ජාතික හෙළ උරුමය හා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන අතර ඇති වූ එකඟතාවේ අන්තර්ගත බවයි හිටපු අමාත්‍ය චම්පික රණවක පවසන්නේ.

"මෙය දින 100 කෙටි දේශපාලන න්‍යාය පත්‍රයක්, මේ සදහා සියළුම දේශපාලන පක්ෂවල නියෝජනයක් ඇති ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීමට, අපි එකඟවුනා" යයි ඔහු පැවසුවේය.

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණයෙන් පසු ව්‍යවස්ථා සංශෝධන ඉටු කිරීම සඳහා පිහිටුවන කෙටි කාලීන ජාතික සමගි ආණ්ඩුවට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට ද එක්විය හැකි බව ද චම්පික රණවක ප්‍රකාශ කළේය.

රහස් ගිවිසුම් නැහැ

මෙම අවස්ථාවට එක් ව සිටි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන තමන් කිසිදු පක්ෂයක් හෝ සංවිධානයක් සමග රහසිගත ගිවිසුම් අත්සන් නොකරන බව කියා සිටියේය.

තමන් ජනාධිපති වූ පසු ආරක්ෂක අංශවල සාමාජිකයන් නිල රාජකාරි වලට පමණක් සීමාකර ඔවුන්ගේ ගෞරවය රැකෙන පරිදි ක්‍රියාකරන බවයි පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන පවසන්නේ.

" ජනාධිපති මන්දිරයේ සාමාන්‍ය සේවකයන් හැටියට, මුළුතැන්ගෙයි කටයුතුවලට, ආහාර පිසීමට, ආහාර බෙදීම වගේ කාර්ය වලට කිසිසේත් ම ආරක්ෂක අංශවල සාමාජිකයන් යොදා ගන්නේ නැහැ කියන පැහැදිලි සහතිකය මම දෙනවා" යැයි ඔහු සඳහන් කළේය.

සියලු ජනවර්ග වලට අවශ්‍ය වැඩපිළිවෙළක්

දෙමළ ජාතික සන්ධානය වැනි සුළු ජාතින් නියෝජනය කරන පක්ෂවලට ද මෙම වැඩසටහනට සහය දිය හැකි බවත් ඊට තම පක්ෂයේ විරෝධයක් නොමැති බවත් මෙහිදී බිබිසි ය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජාතික හෙළ උරුමයේ හිටපු අමාත්‍ය චම්පික රණවක ප්‍රකාශ කළේය.

" මේ වැඩපිළිවෙළ සියලු ජනවර්ගවලට අවශ්‍ය වැඩපිළිවෙළක්. මෙතන තියෙන්නේ යහපාලන හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන වැඩ පිළිවෙළක්. එයට දෙමළ ජාතික සන්ධානය විතරක් නෙමේ වෙන ඕන පක්ෂයකට සහාය දෙන්න පුළුවන්"

කෙටි වැඩපිළිවෙළක් සඳහා අගමැති ධුරය විපක්ෂනායක රනිල් වික්‍රමසිංහට ලබාදීම පිළිබඳව තම පක්ෂයේ විරෝධයක් නොමැති බව ද ප්‍රකාශ කළ චම්පික රණවක හිටපු අමාත්‍යවරයා එමගින් බිහිවන්නේ එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙළක් නොවන බව ද අවධාරණය කළේය.