මුලතිව්හි සමූහ මිනීවලක් සොයා කැණීම් ඇරඹෙයි

2007 වර්ෂයේ පැවති සටන් විරාම සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මුලතිවු වල්ලිපුනම් පළාතේදී සහ පෙරියඉද්දිමන් පළාතේදී ඝාතනය කරණ ලද 82 දෙනෙකුගෙන් යුත් පිරිසක් පුලුස්සා දැමූ ස්ථානයේ පස් පරීක්ෂා කිරීම සහ කැණීම් කටයුතු 02 දා සිට දින තුනක් සිදුකරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසීය.

අත් අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ.සැකකරුවන් පිරිසක් විසින් ලබාදුන් තොරතුරු වලට අනුව මෙසේ මරාදමන ලද පුද්ගලයින් අතර සාමන්‍ය වැසියන් 80 ක්ද පොලිස් පරීක්ෂක ජයරත්නම්, සහ යුද හමුදා නිලධාරියෙකුද සිටින බව ඔහු කියා සිටියේය.

මෙසේ මරාදමා ඇත්තේ එල්.ටී.ටී.ඊ.ය විසින් තම අත් අඩංගුවේ සිටි පිරිසක් බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ.

කිළිනොච්චිය දිසාවිනිසුරු එම්.අයි.වහාබ්දීන් හමුවේ මෙම මළසිරුරු අසල පස් පරීක්ෂණයට ලක් කරණු ලබන්නේද කැණීම් කටයුතු කරණු ලබන්නේද ඔවුන්ගේ මරණ ස්ථිර වශයෙන්ම සනාථ කර ගැනීමට බවද පොලීසිය පවසයි.

දෙවනිදා සවස් වනතුරු කරණ ලද කැණීම් වලදී සැකකටයුතු කිසිවක් හමුවී නොමැති බවද වාර්තා වෙයි.