ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කුඩගම්මන ‘කටවුට්’ ප්‍රහාරය

මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් ජනාධිපති ධුර අපේක්ෂකයකුගේ ප්‍රචාරක පුවරුවක් (‘කටවුට්’) තම ඉඩමේ සවි කිරීමට අවසර නො දුන් පුද්ගලයකුගේ ඥාතීන්ට අද බදාදා (03)අලුයම් කාලයේ පහර දී නිවසේ දේපොළ ආදියට හානි කිරීමේ සිද්ධියක් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වන (CaFFE) ආයතනය වාර්තා කරයි.

එම හිංසනයට ගොදුරු වී සිටින්නේ දිවුලපිටියේ කුඩගම්මන වැසියකු වන තුසිත වීරසිංහ අයත් පවුලයි.

ප්‍රහාරකයන් සිය මවට ද තර්ජනය කළ බවයි තුසිත වීරසිංහ පවසන්නේ.

තුසිත වීරසිංහගේ මව බීබීසී සංදේශයට අදහස් දක්වමින්, ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් අතර පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය සහිත දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාත් සිටි බවයි කියා සිටියේ.

පසුගිය නොවැම්බර් 29 වෙනි දින තුසිත වීරසිංහගේ ගෙවත්තේ ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ ගේ විශාල රුවක් සහිත ප්‍රචාරක පුවරුවක් ඇටවීමට උත්සාහ කර ඇති අතර ඊට නිවසේ අයිතිකරුවන්ගෙන් ඉඩ නො ලැබීම මුල් කර ගෙනයි ප්‍රහාරය සිදු ව තිබෙන්නේ.

මෙම සිද්ධිය සිය ජංගම දුරකතනය මගින් පටිගත කර ඇති තුසිත වීරසිංහ එහි පිටපතක් බීබීසියට ද ලබා දුන්නේය.

විසිපහක තිහක කණ්ඩායමක්

ප්‍රාදේශීය සභා සභාපතිවරයා සමඟ පැමිණි පහළොවක පමණ කණ්ඩායමක් ඉඩමට ඇතුල් වී තම ඥාති සහෝදරයන් දෙදෙනකුට පහර දුන් බව තුසිත වීරසිංහ කියා සිටියි.

‘මගේ ඉඩමට අනවසරයෙන් ඇතුල් වූ කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයාගේ ‘කටවුට්’එකක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එහි ඇටවීමට උත්සාහ කළා. මම ඒකට දැඩි විරෝධය පළ කළා. ඒත් ඒ කණ්ඩායම විදුලි පහන් කණුවක ප්‍රචාරක පුවරුව සවි කරලා ගියා’ තුසිත වීරසිංහ පවසයි.

අද උදෑසන දිවුලපිටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඈතුලු කණ්ඩායමක් එම නිවස කරා පැමිණ තම මවට බැණ වැදී තමන්ට තර්ජනය කළ බවයි තුසිත වීරසිංහ බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ.

එම අවස්ථාවේ තුසිත වීරසිංහගේ ඥාතීන් දෙදෙනකු නිවසට පැමිණ ඇති අතර ප්‍රාදේශීය සභා සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම ඔවුන්ට පහර දීමෙන් රෝහල් ගත කරනු ලැබ සිටිති.

ප්‍රහාරයට ගොදුරු වූ එක් පුද්ගලයෙක් පවසන්නේ තම යතුරු පැදියට හානි සිදු කළ ප්‍රහාරකයන් තමන්ට යකඩ පොලුවලින් පහර දුන් බවයි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය සභා සභාපති ඉන්දික අනුරුද්ධ බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් තමා හෝ තම වාහනයක් ඉහත කී නිවස කරා ගමන් නොගත් අතර එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් ආණ්ඩු පක්ෂයේ ප්‍රචාරක පුවරු ආදියට හානි සිදු කරන බවයි කියා සිටියේ.