ලසසප ප්‍රධානීන් හය දෙනකුගේ සාමාජිකත්වය තහනම්

ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තිදෙනකුගේ සහ දේශපාලන මණ්ඩලයේ තිදෙනකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කොට තිබේ.

මෙසේ පක්ෂ සාමාජිකත්වය අහිමි වී සිටින්නේ කළුතර දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම්, විමල් රොද්‍රිගු සහ ඩී.එම්. ඩී.අබේරත්න යන දේශපාලන මණ්ඩල සභිකයන් සහ මධ්‍යම කාරක සභාවේ අධිනීතිඥ ජයම්පති වික්‍රමරත්න. අධිනීතිඥ ලාල් විජේනායක සහ සමීර පෙරේරා යන සාමාජිකයන්.

ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හේතුව වී ඇත්තේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පල කිරීමත්, අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමත්.

පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද, අඟහරුවාදා රැස් වූ අවස්ථාවේදී, පක්ෂ නායක අමාත්‍ය තිස්ස විතාරණ විසින් එහිදී ගෙන ආ යෝජනාවකට අනුව තමා ඇතුළු එම හය දෙනාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගත් බවයි, ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ ප්‍රධාන සභාපති ඩී. එම්. ඩී අබේරත්න සංදේශයට පැවසුවේ.

පොදු අපේක්ෂකයා

පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය පල කළ යුතු බවට 24 දෙනකු ද, 13 දෙනකු පොදු අපේක්ෂකයාට සහය දිය යුතු බවටද ඡන්ද ප්‍රකාශ කළ බව කියා සිටි ඔහු, පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන තුරු තීරණයක් නොගන්නා ලෙසට පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර තිබූ බවයි ප්‍රකාශ කළේ.

වෙනත් දේශපාලන පක්ෂයකට එක්වීමට අදහස් නොකරන බව කී ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ ප්‍රධාන සභාපති ඩී. එම්. ඩී අබේරත්න ඉදිරියේදී පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය උදෙසා තමන් ඇතුළු කණ්ඩායම දේශපාලන ව්‍යාපාරයේ නිරත වන බව තවදුරටත් පැවසුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර