මුස්ලිම් නායකයෝ තවමත් වැට උඩ

Image caption රිෂාඩ් බදියුදීන්

ජනාධිපතිවරණය සඳහා ඇත්තේ තවත් මාසයකුත් දවස් කීපයක් වන නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දහරාවේ මුස්ලිම් දේශපාලන පක්ෂ ඔවුන්ගේ දේශපාලන තීන්දුව තවමත් ප්‍රකාශයට පත් කරනු ලැබ නැත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නිෂාම් කාරියප්පර් බීබීසියට කියා සිටියේ දෙසැම්බර් අටවෙනි දා නාම යෝජනා භාර දෙනු ලැබීමෙන් අනතුරුව සිය පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක කර්මාන්ත සහ වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් බීබීසී දෙමළ සේවය සමඟ සාකච්ඡාවක දී අදහස් දක්වමින් ඉතා ඉක්මනින් මුස්ලිම් ජනතාවට හිතකර තීරණයක් ගන්නා බවයි කියා සිටියේ.

බලාපොරොත්තු නොවූ ඡන්දයක්

‘මේ වගේ ජනාධිපතිවරණයක් දැන්ම ඒවි කියල අපි බලාපොරොත්තු වුනේ නැහැ. මොකද?ජනාධිපති මහින්ද රාජපක්ෂට තවත් අවුරුදු දෙකක් කාලය තිබුණා’ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා පවසයි.

එවැනි තත්වයක් යටතේ ක්‍ෂණිකව දේශපාලන තීන්දුවක් ගනු ලැබීම දුෂ්කර අරගලයක් වී ඇති බවයි ඔහු පවසන්නේ.

Image caption රවුෆ් හකීම්

සමස්ත ජනගහනයෙන් 10% ක් පමණ වන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අතීතයේ කොටි සංවිධානයෙන් එල්ල වූ විවිධ ආකාරයේ හිරිහැර වලට ගොදුරු වූ බව කියා සිටි ඇමතිවරයා, යුද ජයග්‍රහණයෙන් පසුව හෙළ උරුමය සහ බොදු බල සේනා වැනි සංවිධාන වල හැසිරීම නිසා යළිත් දුෂ්කර තත්වයකට මුහුණ දෙමින් සිටින අතර එවැනි පරිසරයක් යටතේ දුරදිග සිතා බලා තීරණයක් ගත යුතුව ඇති බවයි සඳහන් කළේ.

ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනතාව වාසය කරන්නේ ඔවුන්ගේ පැවැත්ම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් බිය මුසු හැඟීමකින් බවත් එවැනි තත්වයක් යටතේ ජනාධිපතිවරණයේ දී අනුගමනය කළ යුතු පිළිවෙත තීන්දු කිරීම අතින් මුස්ලිම් නායකත්වය විශාල දුෂ්කර අරගලයකට මුහුණ දී සිටින බවත් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පෙන්වා දෙයි.

රිෂාඩ් - හකීම් සාකච්ඡා

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා තමා අධිකරණ ඇමති, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් සමග ද සාකච්ඡා කළ බව ඇමතිවරයා පිළි ගත්තේය.

‘ඒක මිත්‍රශීලී සාකච්ඡාවක්! අපි අපේ මුස්ලිම් ප්‍රජාවට මුහුණ දෙන්න සිදු වී ඇති බොහෝ කරුණු ගැන කතා කළා. අපේ ජනතාවට රැකවරණ සැලසීමට ගත යුතු ක්‍රියා මාර්ග ගැන අපි කතා කළා. අපි ගනු ලබන ඕනෑම තීරණයක් අපේ ප්‍රජාවට හානිකර එකක් නො විය යුතුයි. අපි ආයෙත් මුණ ගැහෙනවා. රවුෆ් හකීම් කිව්වා - ජනාධිපතිවරණයේ දී සහයෝගය දිය යුත්තේ කාටද කියල ඔහු ඔහුගේ පක්ෂයේ ඉහළ මට්ටමත් එක්ක සාකච්ඡා කළත් තවම අවසන් තීන්දුවක් ගෙන නැහැයි කියල’ කර්මාන්ත සහ වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් වැඩි දුරටත් කියා සිටියේය.

කෙසේ වුවද, අනිද්දා(06 සෙනසුරාදා)වන විට සිය පක්ෂයේ තීරණය නියතවම ප්‍රකාශයට පත් කරන බවත් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර