ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සමහරුන්ට යුද්ධය අමතකයි - ජනපති

අද ඇතමුන්ට රටේ යුද්ධයක් තිබූ බව අමතක වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ජනතාව තිස් අවුරුද්දක් බියෙන් සිටි බවත් සෑම දිස්ත්‍රික්කයකම බෝම්බ පුපුරන තත්වයක් රටේ පවතී බවත් ජනාධිපතිවරයා අද සිකුරාදා පෙන්වා දුන්නේ අරලිය ගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින්.

" යුද්ධයත් අමතකයි සමහරුන්ට, තිස් අවුරුද්දක් බයෙන් හිටියා අද කෑගහනවා සමහරු, ඒ කාලේ කොහෙද පිපුරුණේ නැත්තේ, මොන දිස්තික්කයේද, ඉතින් එහෙම යුගයක් තිබිල තමයි අපි ඒකෙන් මිදුනේ," ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තමන් කිසි දිනක ඡන්දය අපේක්ෂාවෙන් ජනතාවට සේවය නොකළ බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණයක කළේය.

මැතිවරණ පොරොන්දු

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද සිකුරාදා කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂ තරුණ රැළියක් අමතමින් පැවසුවේ යුද්ධයෙන් පසු ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට නොහැකිවූ බවයි.

" පලවෙනි වාරේ කිව්වේ යුද්ධ කරමු රට බේරාගමු කියලා, ඉතින් තරුණයෝ යුද හමුදාවට බැදුණා, තරුණයෝ රැකියා ඉල්ලුවේ නැහැ, පඩි වැඩිවීම් ඉල්ලුවේ නැහැ, ඒ මොකද යුද්ධය ඉවර වෙලා තමන්ට හොඳ අනාගතයක් ඇති වෙයි කියලා"

2010 ජනාධිපතිවරණය ජය ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබා දුන් ප්‍රධාන පොරොන්දු කිසිවක් අද ඉටුවී නොමැති බවයි විපක්ෂ නායකයා පෙන්වා දුන්නේ.

ණය බර

" තරුණයන්ට රැකියා දෙනවා කිව්වා, පඩි වැඩි කරනවා කිව්වා, හොඳ අනාගතයක් ඇති කරනවා කිව්වා, දැන් මොකක්ද ඒ අනාගතයේ තියෙන්නේ, අද රැකියා නැතිව තරුණයන් ඉන්නේ, දැන් ණය වෙලා, ණය වෙලා, තව ණය වෙන්න දෙයක් නැහැ"

ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කර බිහි කරන ආණ්ඩුවෙන් තරුණයන්ට රැකියා දස ලක්ෂයක් ඇති කරන බවයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තවදුරටත් ප්‍රකාශ කළේ.