'මාතර සුනිල්' සොයා පොලිස් විමර්ශන

ඉකුත් බදාදා දෙරණ වාද පිටිය වැඩසටහන පැවැත්වෙන අතරතුර මාතර සුනිල් නමින් පෙනී සිටිමින් ප‍්‍රශ්ණයක් යොමු කර ඇත්තේ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක බව විමල් වීරවංස අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

පොලිස් විමර්ශන

අද, සිකුරාදා මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මේ බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති බවයි.

විමල් වීරවංස අමාත්‍යවරයා මාධ්‍ය ආයතනයටද චෝදනා එල්ල කළේ ඔවුන්ගේ වගකීම පැහැර හැර ඇති බව පවසමින්.

රූපවාහිනී සංවාදවලදී දුරකථන ඇමතුම් මගින් එම සංවාදවලට සහභාගි වන පුද්ගලයන්ගේ භූමිකාව පිළිබඳව ප්‍රශ්න කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත් එම අවස්ථාව ලබා දිය යුත්තේ යහපත් අරමුණෙන් එම සංවාදයට සහභාගි වන ජනතාවට බවත් ඔහු කියා සිටියේය.

මාධ්‍ය භාවිතය

රටේ දේශපාලන සංස්කෘතිය ගුණාත්මක අතට හැරවීම පිණිස මාධ්‍ය භාවිතය වගකීමෙන් යුතුව හැසිරවීම මාධ්‍ය ආයතනවල වගකීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරී ලෙස වැඩසටහන් සකස් නොකළ යුතු බව පැවසූ ඔහු එමගින් රජයේ නියෝජිතයන්ට මෙන්ම විපක්ෂයේ නියෝජිතයන්ටද හානියක් වන බව පැවසුවේය.

රන්ජන් ප්‍රතිචාර

දෙරණ රුපවාහිනියේ ‘වාද පිටිය’ වැඩ සටහනට දුර කථන පණිවුඩයක් දීම සම්බන්ධ අර්බුදයට මැදි වී සිටින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බීබීසී සංදේශය විසින් කරන ලද විමසීමක දී කියා සිටියේ ,කිසිදු අධිකරණයක පූර්ණ අනුමැතියකින් තොරව තම ලිපිනය සහ දුරකථන අංකය ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි.

දුරකතන ඇමතුම පිළිබඳ සිද්ධිය තමා දැන ගත්තේ මාධ්‍ය සාකච්ඡා මගින් යයි කියා සිටි මන්ත්‍රීවරයා, ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය නීතිවේදීන්ගෙන් උපදෙස් ඉල්ලා ඇති අතර වැඩිදුර තොරතුරු ප්‍රකාශ කළ හැක්කේ ඔවුන්ගේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව බවයි පවසන්නේ.

‘වාද පිටිය’ මෙහෙය වූ මාධ්‍යවේදියාගෙන් පොලිසිය ප්‍රශ්න කරනු ලැබ ඇති බවක් සැලවෙතත්, බීබීසියට කථා කරන විටත් තමාගෙන් එවැනි ප්‍රශ්න කිරීමක් සිදු නොවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කළේය.