ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘දැන් මාතෘකාව තිස්ස නොවෙයි, මෛත්‍රී’ - රනිල්

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පක්ෂයේ මහ ලේකම් පදවියෙන් ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද මාතෘකාව තිස්ස අත්තනායක හෝ වෙනත් පුද්ගලයකු නොව මෛත්‍රීපාල සිරිසේන යයි කියා සිටියේ ය.

සිය හිටපු මහ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම ගැන අදහස් දක්වමින් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ එය අදූරදර්ශී කෙටි දැක්මක් මත ගත් තීරණයක් වන අතර තමා එය භාර නො ගත් බවයි.

එම තීරණය ගැන කනගාටුව පළ කිරීම හැර තමාට වෙනත් කිව යුතු දෙයක් නැති බවයි විපක්ෂ නායකයා පවසන්නේ.

පුරප්පාඩු වූ මහ ලේකම් පදවියට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත් කරනු ලැබ ඇත. කබීර් හෂීම් මෙයින් පෙර එක්සත් ජාතික පක්ෂයේ සභාපති පදවියේ ද කටයුතු කර ඇත.

උද්ගතව ඇති නව තත්වය සම්බන්ධයෙන් නව මහ ලේකම් වරයා හෙට (09) මාධ්‍ය හමුවක දී අදහස් දක්වනු ඇතැයි ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

මේ අතර ජනාධිපතිවරණය ගැන අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකයා ‘මෛත්‍රීපාල සිරිසේන යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු වන අතර බණ්ඩාරනායක ප්‍රතිපත්ති නියෝජනය කරන ඔහුට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රාශියක සහයෝගය ලැබෙනු ඇතැයි’ද සඳහන් කළේය.

තිස්ස අරලිය ගහ මන්දිරයේ

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සිය ඉල්ලා අස්වීම භාර දුන් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා අරලිය ගහ මන්දිරයට ගොස් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන බව ප්‍රකාශ කළ බවයි මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි චන්ද්‍රානි බණ්ඩාර ආණ්ඩුවට එක් වූ බවට ආරංචි පැතිර ගියත්, 'සිරිකොත' මූලස්ථානයේ දී මන්ත්‍රීවරිය මාධ්‍යවේදීන්ට කියා සිටියේ තමා කිසිදාක එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවයි.

ආණ්ඩුවට එක් වූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට ආණ්ඩුවේ ප්‍රබල ඇමති පදවියක් පිරි නැමෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසෙයි.