සිනමාවේදී සෝමරත්න දිසානායකගේ සහාය මෛත්‍රිට

Image caption ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කරන බව ප්‍රකාශ කරයි.

යුද්ධය නිමා වීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ අසාධාරණය, වෙනස්කම්, පවුල්වාදය, වංචාව සහ දූෂණ පැවති බව පවසන සෝමරත්න දිසානායක දෙදහස් දහය වසරේදී නැවතත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පවතින ක්‍රමයේ වෙනසක් කරණු ඇතැයි තමා විශ්වාස කළ බවයි කියා සිටියේ.

Image caption ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා කලාකරුවෝ රැසක් සහභාගී වී සිටියහ

‘මම හිතනවා දෙදහස් දහයේදී එතුමා අපි සියලු දෙනාම මුලා කිරීමක් කරලා තියෙන්නේ. ත්‍රස්තවාදය නැති වුනා කියලා දූෂණ, වංචා, පවුල්වාදය, හොරකම්, අධිකරණයට ඇඟිලි ගැසීම් තුළින් රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ගියා මිසක්වත් පොඩ්ඩක්වත් ඒවාට විසඳුමක් ලැබුණේ නැහැ’ යනුවෙන් ඔහු පැවසුවේ කෝට්ටේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

දේශපාලන පිල් මාරු බහුල සමයක මෙය තවත් පිල් මාරුවක් නොවන බවයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක වැඩි දුරටත් කියා සිටියේ.

Image caption ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක

මේ අතර වරප්‍රසාද මත පදනම් වී දේශපාලන තීන්දු ගන්නා ඇතැම් පුද්ගලයන් මාධ්‍ය හමුවට පැමිණ සිටි ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ දැඩි විවේචනයට ලක් විය.

‘මුන්ට ඕනි කෝටි ගණන් සල්ලි. හැබැයි සෝමරත්න දිසානායක මේ අදහස දක්වන්නේ ඒ පැත්තේ ඉදලා ඇවිල්ලා මෙතනට. දැන් අපට මෙතන සල්ලි නැහැ. ඒක නිසා මේක පිටිපස්සේ සල්ලි වීසි කළා කියලා නම් මම හිතන්නේ කියන්න බැහැ’ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක වැඩි දුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර