ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනාධිපතිගේ අභිප්‍රාය පිරිසිදු පාලනයක් - තිස්ස

ජනාධිපතිවරණයෙන් පසු රට තුළ පිරිසිදු පාලනයක් ඇති කිරීමට අවශ්‍ය මාර්ගයට ආණ්ඩුව ගෙන ඒම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අභිප්‍රාය බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

විපක්ෂයෙන් ඉවත්ව ජනාධිපතිවරයාට සහය පළ කිරීම ගත් තීරණය පිළිබඳ අඟහරුවාදා පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

තමා ආණ්ඩුවේ අඩුපාඩු සම්බන්ධයෙන් දිගින් දිගටම විවේචනය කර ඇති බව පැවසූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මෙම ආණ්ඩුව සර්ව සම්පුර්ණ බව තමන් නොපවසන බවද ප්‍රකාශ කළේය.

" දැන් තියෙන අභියෝග වෙනස්, ජනාධිපතිතුමා කිව්වා අඩුපාඩු කම් වෙලා තියෙනවා කියලා, මිනිස්සු විවේචනය කරනවා කියලා, ඒ සිද්ධ වෙන දේ හදා ගන්න එතුමා මේ ජනවරමත් එක්ක ක්‍රියා කරනවා කියලා කිව්වා"

එක්සත් ජාතික පක්ෂය අද අපේක්ෂා කළ අරමුණු කරා නොයන බව පැවසූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා රට අස්ථාවර වන මෛත්‍රීපාල සිරිසේන දිනවන්න ගත් තීන්දුවට තමන් එකඟ නොවූ බවද ප්‍රකාශ කරයි.

පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර ඇති කර ගන්නා ලද එකිනෙකට වෙනස් වන ගිවිසුම් තුළින් රට අස්ථාවර විය හැකි බවයි ඔහු පැවසුවේ.

මෛත්‍රිපාල සිරිසේන යම් හෙයකින් ජනාධිපති ධුරයට පත් වුවහොත් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් දැන් සිටින තත්වයට වඩා අසරණ වන බවයි තිස්ස අත්තනායක කියා සිටියේ.

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය රවටා ඇති බව පවසන තිස්ස අත්තනායක නාම යෝජනා දිනට පෙර ආණ්ඩුවෙන් විසි දෙනෙකු හෝ විසි පස් දෙනකු විපක්ෂයට ගෙන එන බවට ඔහු ලබා දුන් පොරොන්දුව ඉටු කර නොමැති බවද පෙනවා දෙයි.

ආණ්ඩුවට එක් වූයේ මුදලට බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයා තමන් වැඩ කරන්නේ හෘද සාක්ෂියට එකඟව බවයි ප්‍රකාශ කළේ.

තමන් ආණ්ඩුවට එක් වූයේ ප්‍රතිපත්තිමය කාරණා කිහිපයක් මුල් කර ගනිමින් බවයි එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩි දුරටත් කියා සිටියේ.