ගැටුම් පිළිබඳ ආයතනයෙන් ශ්‍රී ලංකාවට පණිවුඩයක්

Image copyright Alan Keenan
Image caption ඇලන් කීනන්

ජාත්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ප්‍රබල රාජ්‍ය නොවන සංවිධානයක් වෙන ICG ආයතනය වාර්තාවක් නිකුත් කරමින්, මැතිවරණ දිනයේ මෙන්ම ඉන් පසුවත් ප්‍රචණ්ඩ ක්‍රියා වලින් වලකින මෙන් ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

ජාත්‍යන්තර අර්බුද අධීක්ෂණය කරන ICG ආයතනයේ නව වාර්තාවක දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵලය අවිනිශ්චිත වීමත් සමඟ ඉතා දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යාමේ අනතුරක් පවතින බවයි.

ICG ආයතනයේ ශ්‍රී ලංකාව භාර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මෙන්ම ඉහත කී වාර්තාවේ කර්තෘවරයා වන ඇලන් කීනන් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා විශාල මට්ටමින් පැතිර යාම පිළිබඳව සිය සංවිධානයේ කනස්සල්ල පළ කළේය.

ගැටුම්කාරී බල හුවමාරුවක්

‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළොත් විශේෂයෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දා ගොස් මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දෙන පුද්ගලයන්ට හිරිහැර සිදු කෙරෙනු ඇති බවට මැසිවිලි තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජය ගත්තත් ආණ්ඩුව විපක්ෂයට සාමකාමීව බලය භාර දෙනු ලැබේද? යන ප්‍රශ්නයත් පවතිනවා’ ඇලන් කීනන් පවසයි.

Image caption විපක්ෂයේ ආධාර කරුවකුට ප්‍රහාරයක්

විපක්‍ෂයේ ජයග්‍රහණය හමුවේ ජනාධිපතිවරයා බලය දිගටම තමන් අතේ තබා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කරනු ඇද්දැයි සැකයක් මතුව ඇති බවත් ICG ආයතනය පෙන්වා දෙයි.

‘රාජපක්ෂ, විපක්ෂයේ පැහැදිලි ජයග්‍රහණය ඉදිරියේත් බලය තමන් අතේ ම තියා ගැනීම සඳහා ජනාධිපතිවරණය අවලංගු කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට පියවර ගනීවිද ? එහෙමත් නැත්නම් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිවෙතකට යාවිද කියන ප්‍රශ්නය තියෙනවා’ ICG ආයතනයේ ශ්‍රී ලංකාව භාර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඇලන් කීනන් සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා

ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි ඉහත කී බිහිසුණු අනතුර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මෙන් ම විදේශීය ආණ්ඩු වල අවධානය යොමු විය යුතු අතර උද්ගත විය හැකි අනතුර අවම කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු බවයි ඇලන් කීනන් පවසන්නේ.

‘අපි දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ ඉතාම සුපරීක්ෂාකාරී මැතිවරණ නිරීක්ෂණයක් ඉල්ලා සිටිනවා. ජාත්‍යන්තර ආණ්ඩු සහ සංවිධානවල අවධානය සහිත. ප්‍රචණ්ඩ ක්‍රියා පමණක් නොවෙයි, මැතිවරණ වංචා, ප්‍රෝඩා ආදිය ගැනත් අවධානය යොමු වීම අවශ්‍යයි’ ඇලන් කීනන් කියා සිටියි.

ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳව මෙන්ම ඡන්ද ගණන් කරන තැන් ගැනත් දැඩි අවධානයක් යොමු වීම අවශ්‍ය බවයි ඔහු පවසන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ව ගනු ලබන පශ්චාත් ජනාධිපතිවරණ ක්‍රියා මාර්ග මගින් අත් විය හැකි නරක ප්‍රතිවිපාක ගැන රාජපක්ෂ පාලනයට පණිවුඩයක් දෙන ලෙස’ ICG ආයතනය ශ්‍රී ලංකාවට බලපෑමක් සහිත ඉන්දියාව ,ජපානය සහ චීනයෙන් මෙන් ම රාජපක්ෂ පාලනය දෝෂ දර්ශනයට ලක් කරන බටහිර රටවලිනුත් ඉල්ලා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර