විපක්ෂයට යන කතාව බොරුවක් - සියඹලාපිටිය

Image copyright Ranjith Siyambalapitiya
Image caption "ගින්නක් නෙවෙයි, ගිනි පුපුරක්වත් නැතිව දුමක් නෙවෙයි දුම් බෝම්බ නිර්මාණය කරන ව්‍යාපෘතියක් බවට මේ මැතිවරණය පත් වෙලා තියෙනවා"

ආණ්ඩුවෙන් ඉවත්ව විරුද්ධ පක්ෂ සන්ධානයට එක්වීමට සැරසෙන බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍යයක් බව විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා එසේ කියා සිටියේ විශේෂයෙන්ම සඳුදා මහනුවර පැවැත්වුණු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයාට සහාය දැක්වීමේ රැස්වීමේදී ඔහු විපක්ෂයට එක්වීමට සූදානම්ව සිටි බවට පළ වූ වාර්තා පිළිබඳව අදහස් දක්වමින්.

"අපි කියනවා ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ කියල. හැබැයි අද ගින්නක් නෙවෙයි, ගිනි පුපුරක්වත් නැතිව දුමක් නෙවෙයි දුම් බෝම්බ නිර්මාණය කරන ව්‍යාපෘතියක් බවට මේ මැතිවරණය පත් වෙලා තියෙනවා," යනුවෙන් අමාත්‍ය සියඹලාපිටිය සඳහන් කළේය.

මහනුවර පැවැත්වුණු රැස්වීමට ජනතාව කැඳවා ගැනීම දුෂ්කර වනු ඇතැයි බියෙන් මෙවැනි අසත්‍ය වාර්තා ප්‍රචාරය කළේ දැයි සැකයක් මතුවන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ආණ්ඩුවෙන් ඉවත්වන බවට තමන්ගෙන් ඉඟියක් හෝ ලැබුනේ දැයි සනාථ කරන මෙන් විපක්ෂයට අභියෝග කරන බව පවසන සියඹලාපිටිය අමාත්‍යවරයා, එසේ සනාථ කළ නොහැකි නම් විපක්ෂය ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් සමාව ගත යුතු බව අවධාරණය කරයි.