ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දේශපාලනයෙන් තොර ක්‍රීඩාවක් බිහි කළ ජනපතිට සහය - හෂාන්

හිටපු ක්‍රිකට් නායක මෙන්ම වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජික හෂාන් තිලකරත්න ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දීමට තීරණය කර තිබේ.

හෂාන් තිලකරත්න එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන අතර ක්‍රිකට් තේරීම් කමිටුවට ලද පත්වීමෙන් පසු ඔහු ක්‍රියාශීලී දේශපාලනයෙන් ඉවත්ව සිටියේය.

අද බ්‍රහස්පතින්දා පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෂාන් තිලකරත්නකියා සිටියේ කරුණු තුනක් පදනම් කර ගනිමින් තමන් එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දීමට තීරණය කළ බවයි.

යුද්ධය නිමා කිරීම, රට සංවර්ධනය කිරීම සහ දේශපාලනයෙන් තොර කී‍්‍රඩාවක් බිහි කිරීම එම මූලික කරුණු බවයි හෂාන් තිලකරත්න කියා සිටියේ.

ජානාධිපතිවරයා යටතේ ක්‍රීඩාව දේශපාලනිකරණය නොවූ බව පැවසූ හෂාන් තිලකරත්නගෙන්, තේරීම් කමිටුවේ සභාපති ධුරය දරන්නේ නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසුරිය බව පෙන්වා දුන් සංදේශය විමසුවේ ඔහුගේ එම තීරණයෙන් ක්‍රිකට් තේරීම් කමිටුව තවදුරටත් දේශපාලනිකරණය නොවේද යන්නයි.

පිළිතුරු සපයමින් හෂාන් තිලකරත්න කියා සිටියේ "මම විශ්වාස කරන්නේ නැහැ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනිකරණය වෙලා කියලා, අපි මොන දේශපාලනය කලත් ක්‍රිකට් පාලක මණ්ඩලයට අතුල්වෙන්නේ ඒ සියළු දේවල් එළියෙන් තියලා"යනුවෙනි.

හෂාන් තිලකරත්නගේ ඥාතීයකු වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑණා වන දනූන තිලකරත්නට අසාධාරණයක් සිදුවූ බවට මින් පෙර කළ ප්‍රකාශය වෙනුවෙන් තවමත් පෙනී සිටින්නේ දැයි සංදේශය හෂාන් තිලකරත්නගෙන් විමසීමක් කළේය.

හෂාන් වෙනුවෙන් එයට පිළිතුරු දුන් ආණ්ඩුවට පසුගියදා එක්වූ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පැවසුවේ සරත් ෆොන්සේකාට පවරා ඇති නඩු ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා ඇති බවයි.