විපක්‍ෂයෙන් ‘කළු පොතක්’

රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ නිල කාර්යයන්ට පටහැණි ව සිදු කරනු ලබන දේශපාලන ක්‍රියාවන් වාර්තා කිරීම සඳහා විශේෂ විද්‍යුත් ලිපිනයක් සහ දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

එම විද්‍යුත් ලිපිනය නම් කරනු ලැබ තිබෙන්නේ ‘කළු පොත’ යන තේරුම දෙන ඉංග්‍රීසි වචනයක් යොදා ගනිමිනි.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ සම මාධ්‍ය ප්‍රකාශකයන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මන්ත්‍රීවරු ඔවුන් අද (11) කැඳ වූ පළමු මාධ්‍ය හමුවේ දීයි ඉහත කී ප්‍රකාශය සිදු කෙරුණේ.

යුද ජයග්‍රහණය සිය තනි අයිතියට පවර ගනු ලැබීමට ජනාධිපතිවරයා උත්සාහ කළත් කොටි සංවිධානයේ පාලනය පැවති යාපනය නගරය මුදා ගනු ලැබුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ බව සිහිපත් කරන බවයි, මංගල සමරවීර මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ.

බලයේ සිටි හැම පාලකයකු මෙන්ම යුද හමුදා ප්‍රධානීන් සහ සොල්දාදුවන් විසින් ඉටු කරන ලද කාර්යභාරය ජනාධිපතිවරයා විසින් නොතකා හරින බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

තුනෙන් දෙකේ බලය

තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වත්මන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ජනාධිපතිවරයා විසින් පාවිච්චි කරන ලද්දේ සිය පෞද්ගලික උවමනා මුදුන් පත් කර ගැනීමට සඳහා බවයි පෙන්වා දුන්නේ.

‘තුනෙන් දෙකේ බලයෙන් මොකක්ද කළේ? පළමුවෙන්ම කළේ ඒ බලය පාවිච්චි කරලා ජීවිතාන්තය තෙක් තමන්ට තරඟ කරන්න පුළුවන් විධියට ව්‍යවස්ථාව වෙනස් කර ගැනීම. දෙවනුව, ප්‍රතිවාදී දේශපාලකයන්ගේ ව්‍යාපාර පවරා ගැනීමට ඒ බලය පාවිච්චි කළා. තුන් වෙනුව අගවිනිසුරුවරිය පදවියෙන් නෙරපා හැරීමට’ මංගල සමරවීර මන්ත්‍රීවරයා කියා සිටියේය.

ආණ්ඩුව දේශපාලකයන් නොව රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ සිය දේශපාලන ප්‍රචාරක යන්ත්‍රයට සම්බන්ධ කර ගනිමින් සිටින බවට මංගල සමරවීර මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීමක් ද කළේය.

රාජ්‍ය නිලධාරීන්

එම මාධ්‍ය හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනා රත්න කියා සිටියේ ඉතිහාසයේ කිසිදාක නොවූ විරු මට්ටමින් රාජ්‍ය සේවකයන් දේශපාලන ප්‍රචාරක කටයුතු වලට යොදා ගනිමින් ඇති බවයි.

එම තත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී ඇති අතර ඔහුගේ තීන්දුව කුමක්ද යන්න පිළිබඳව බලා සිටින බවයි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පවසන්නේ.

දේශපාලන යාන්ත්‍රනය බිඳ වැටීමත් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයට රාජ්‍ය නිලධාරීන් ගේ පිහිට පැතීමට සිදුව ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර