ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වීදි බට කලාකරුවෝ

ජනාධිපතිවරණය සමයේ දී මාධ්‍යවේදීන්ට සහ කලාකරුවන්ට එල්ල කෙරෙන බලපෑම් හෙළා දැකීමේ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්විණි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ පුරවැසි බලය සංවිධානය එක්වී මෙම උද්ඝෝෂණය කැඳවා තිබුණි.

උද්ඝෝෂකයන් අවධාරණය කර සිටියේ ඉකුත්දා රාවය පුවත්පතේ කර්තෘ කේ. ඩබ්ලිව්. ජනරංජන රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම , එප්පාවලදී ගායක ජයතිලක බන්ඩාර ඇතුළු පිරිසට පහර දීම සහ පුද්ගලික මාධ්‍ය ආයතනවලට රජය මගින් එල්ල වන බලපෑම් හෙළා දකින බවයි.

මේ හේතුවෙන් කලාකරුවන්ට මෙන්ම මාධ්‍යවේදීන්ට නිදහසේ සිය අදහස් පළ කිරීමට නොහැකි වී ඇති බව පුරවැසි බලය සංවිධානයේ ප්‍රවීණ කලාකරු ඩබ්ලිව්.ජයසිරි චෝදනා කරයි.

'කලාකරුවන්ට ප්‍රහාර'

ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂට පක්ෂපාත ව රාජ්‍ය මාධ්‍ය ක්‍රියා කිරීම දැඩි දෝෂාරෝපණයට ලක් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර කියා සිටියේ මේ හේතුවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත් වේද යන සැකය මතු වන බවයි.

කලාකරුවන්ට එල්ලවී ඇති ප්‍රහාර හමුවේ සෙසු කලාකරුවන් නිහඬව සිටීම අනුමත නොකරන බවයි උද්ඝෝෂණයට එක්ව සිටි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක කියා සිටියේ.

'රට පාවා දීමේ කුමන්ත්‍රණයක'

මෙම උද්ඝෝෂණය පැවැත්වෙන අවස්ථාවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය පළ කිරීමේ උද්ඝෝෂණයක් ද කොටුව දුම්රියපොළ ඉදිරිපට පැවැත් වුණි.

ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප පෙරමුණ මගින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයේ දී අදහස් දැක්වූ, රජයට එක්ව සිටින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන, චන්ද්‍රිකා කුමාරණතුංග සහ සරත් ෆොන්සේකා යන පිරිස රට පාවා දීමේ කුමන්ත්‍රණයක නිරත වී ඇති බවයි.

මෙම උද්ඝෝෂණ පැවති අවස්ථාවේ දී කොටුව දුම්රියපොළ ඉදිරිපිට පොලිස් ආරක්ෂාව තර කර තිබුණි.