ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘ඇන්ටනෝව් - 32 ආරක්‍ෂක ප්‍රමිතිය ඉහළයි'

අතුරුගිරිය, හෝකන්දර ප්‍රදේශයට කඩා වැටුණ ගුවන් හමුදා යානය මුහුණ දුන් අනතුර සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව්-32 ගුවන් යානය අද (12) උදෑසන 6.20 ට පමණ අනතුරට ලක් වූ බවයි, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිවේදනයක දැක්වෙන්නේ.

යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදහන් වීමට ස්වල්ප වේලාවකට පෙර පාලක මැදිරිය සම්බන්ධ කළ ප්‍රධාන ගුවන් නියමුවා දර්ශන පථය අපැහැදිලි බව දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, එයාර් වයිෂ් මාර්ෂල් ගගන් බුලත්සිංහල අද මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් සඳහන් කළේ අනතුර සිදු වන මොහොතේ අයහපත් කාල ගුණයක් පැවති බවයි.

ආරක්‍ෂක ප්‍රමිතිය උසස්

අනතුරට ලක් වූ ඇන්ටනෝව් යානය 2013-14 වසරේ දී රුසියාව විසින් සම්පුර්ණ අලුත් වැඩියාවකට ලක් කරන ලද බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගගන ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා ප්‍රකාශ කරයි.

‘මේ යානය රුසියාවෙන් මිලදී ගෙන තිබෙන්නේ 1996 වසරේ. එය ගුවන් පියසර පැය11981ක් සහ විනාඩි 45 ක් සහ ගුවන් බෑම් 13180 සහිත වාර්තාවක් ඇති යානයක්. රුසියානු අලුත්වැඩියාවෙන් අනතුරුව යානය පැය 298 කුත් විනාඩි පනහක් පියාසර කර තිබුනා.අලුත් වැඩියාවෙන් අනතුරුව මාස නවයක කාලයක් ගත වී තිබෙනවා’ එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා පවසයි.

ශ්‍රී ලංකාවේ දී ඇන්ටනෝව් යානා අනතුරු කීපයක් සිදුව ඇති අතර එහි ආරක්ෂක ප්‍රමිතිය සම්බන්ධයෙන් මහජන මැසිවිලි පවතින බව සඳහන් කළ විට ගුවන් ඉංජිනේරු සුපුන විදානගමාච්චි බීබීසියට කියා සිටියේ, ඇන්ටනෝව් 32 යානා යාන්ත්‍රික ප්‍රමිතිය අතින් ජාත්‍යන්තර මට්ටමේ පවතින බවයි.

අනතුරු හේතු

‘මෙම යානා අනාරක්ෂිත බවට කරන ප්‍රකාශ වල කිසිම පදනමක් නැහැ.මෙය 100% ක්ම ආරක්‍ෂිත යානයක්. අද ලෝකයේ පිළිගත් සියලුම ආරක්ෂක උපාංග ඇන්ටනෝව් 32 යානා වලට ඇතුලත් වෙනවා’ සුපුන විදානගමාච්චි පෙන්වා දෙයි.

ඇන්ටනෝව් 32 යානය රුසියාවේ නිර්මාණය කෙරුණේ සෝවියට් පාලන සමයේදීය.එම යානාවල ආරක්‍ෂිත ප්‍රමිතිය ගැන අදහස් දක්වන බීබීසී රුසියානු භාෂා අංශයේ පාවෙල් අක්සියනොෆ් කියා සිටියේත් ආරක්‍ෂක ප්‍රමිතිය අතින් යානය උසස් මට්ටමක පවතින බවයි.

‘ඉහළ මට්ටමේ ගුවන් පථවල පියාසර කරවීමට හැකි නිසා ආසියාවේ සහ දකුණු අප්‍රිකාවේ විශාල ඉල්ලුමක් සහිත මේ ඇන්ටනෝව් 32 යානා වල යාන්ත්‍රික ගුණය විශ්වාසදායකයි.අමතර කොටස් හිඟය.මනාව නඩත්තු නොකිරීම,කාල ගුණය සහ ගුවන් නියමු වැරදි අනතුරකට හේතු වෙන්න ඉඩකඩ තියෙනවා’ පාවෙල් අක්සියනොෆ් පවසයි.

ඇන්ටනෝව්- 32 ගුවන් අනතුර සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර කමිටුවේ ප්‍රධානියා ලෙස ගුවන් කොමදෝරු රවි ජයසිංහ කටයුතු කරයි.