ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් ප්‍රතිඥාවක්

ජනාධිපතිවරණයට තරඟ වදින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බවට ශ්‍රී කතෝලික සභාවේ රදගුරු මණ්ඩලයේ රැස්වීමකදී ප්‍රතිඥා දෙති.

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය යෙදෙන්නේ මැතිවරණය පවත්වා දින කිහිපයකින් නිසා මේ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පොදු විපක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනාගෙන්ම අදහස් විමසා සිටි බවයි කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණි පියනම සංදේශයට පැවසුවේ.

සාමකාමී වාතාවරණයක්

එමෙන්ම ජනාධිපතිවරණයෙන් පසු, ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී වාතාවරණයකින් යුත් කාල පරිච්ඡේදයක් පවත්වා ගෙන යාමටත් අපේක්ෂකයන් දෙදෙනා රද ගුරු මණ්ඩලය සමඟ පැවතී සාකච්ජාවේදී එකඟ වූ බව පියනම ප්‍රකාශ කළහ.

ප්‍රතිරූපය

මැතිවරණයකින් පසු ප්‍රචණ්ඩත්වයක් ඇති වේය යන අත්දැකීමක් ශ්‍රී ලංකා සමාජය තුළ තිබෙන බව පැවසූ කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණි පියනම, පාප් වහන්සේගේ සංචාරය ශ්‍රී ලංකාව පිළිබඳව යහපත් ප්‍රතිරූපයක් ලොවට ඉදිරිපත් කිරීමට උදා වන හොඳ අවස්ථාවක් බව පැවසුහ.

ශ්‍රී ලාංකිකයන් සාමකාමීව සිටීමේ උවමනාව, පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වුවත් නොවුවත් එය රටේ අවශ්‍යතාවක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට සැලසුම් කළ පරිදි සියලු කටයුතු සූදානම් වන බවත් ඊට රාජ්‍ය ආයතන වලින් පූර්ණ සහය ලැබෙන බවත් සිරිල් ගාමිණි පියනම තවදුරටත් ප්‍රකාශ කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර