ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මෛත්‍රී ජනපති ධුරය අහෝසි කිරීම 'සහතිකයි'

එළැඹෙන ජනාධිපතිවරණයේදී තේරී පත්වුවහොත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු ඇති බව සහතික යයි පුරවැසි බලය සංවිධානය පවසයි.

සංවිධානයේ ප්‍රකාශකයකු වන ලේඛක සහ දේශපාලන විශ්ලේෂක ගාමිණී වියන්ගොඩ ඒ බව සඳහන් කළේ, පොදු අපේක්ෂකයාට සහාය දක්වමින් පුරවැසි බලය සංවිධානය විසින් ලබන අඟහරුවාදා සිට දියත් කිරීමට යෝජිත සම්මන්ත්‍රණ සහ විවිධ ප්‍රසංග මාලාව පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

එල්ටීටීඊයට එරෙහි යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් 'ඒකාධිපති පාලන තන්ත්‍රයකට යාමට' ජනාධිපති මහින්ද රාජපක්ෂ දරන උත්සාහය පරාජය කිරීම් වස් පොදු අපේක්ෂකයාට සහාය දීමට සිය සංවිධානය තීරණය කළ බව ඔහු සඳහන් කළේය.

එහෙත් මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා ඇතුළු විපක්ෂ සන්ධානයේ බොහෝ සාමාජිකයන් මෑතක් වනතුරුම රාජපක්ෂ පරිපාලනයේ සාමාජිකයන්ව සිටියා නොවේ දැයි සංදේශය විමසූ අවස්ථාවේ ගාමිණී වියන්ගොඩ කියා සිටියේ, වැරදි කළ පුද්ගලයකු දිගින් දිගටම එය ආරක්ෂා කරනවාට වඩා වැදගත් වන්නේ පසුව හෝ ඒ වරද වටහා ගැනීම වැදගත් බවයි.

'ආපසු හැරෙන්න බෑ'

"උදාහරණයක් විදියට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියා කොමියුනිස්ට් පක්ෂය. ඒ වගේම තමන් එදා කළේ වරදක් කියල ජාතික හෙළ උරුමය පසුව ප්‍රකාශ කළා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

Image caption 'ඔහුගේ පිටිපස්සෙන් තියන බලවේගවල ශක්තිය උද ඔහුට ආපස්සට හැරෙන්න පුළුවන් කමක් නෑ'

"වැදගත් වෙන්නේ මේක තේරුම් ගත්ත වහාම ඒ වරද නිවැරදි කරගැනීමට පෙරමුණ ගැනීමයි."

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට, යලිත් වරක් වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීම මේ මොහොතේ මූලිකම අවශ්‍යතාවය බැවින් පොදු අපේක්ෂකයාට සහාය දෙන නමුත්, ලාංකීය කලාකරුවන්, වෘත්තිකයන්, මාධ්‍යවේදීන් ඇතුළු සමස්ත සමාජයේ සියලු ගැටලුවලට එක්වරම විසඳුම් ලැබෙනු නැති බව ඔහු පිළිගත්තේය. එම ගැටලුවලට විසඳුම් ලබාගැනීම ඊළඟ පියවර බවයි, ඔහු පවසන්නේ.

කෙසේ නමුත් විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හෝ මහින්ද රාජපක්ෂ ප්‍රතිඥා දුන් අවස්ථාවට වඩා මෙවර තත්වය වෙනස් බව ගාමිණී වියන්ගොඩ පවසයි.

"දහ අට වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව තමයි, මුළු රටටම තෙරෙන්න පටන් ගත්තේ මේ විධායක ජනාධිපති ක්‍රමය මොන තරම් ඒකාධිපති අන්තයක් කරා ගමන් කළ හැකිද කියන එක," යනුවෙන් ඔහු සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ බලය තමන්ට ප්‍රතිවාදී පක්ෂය සතුව පවතින අවස්ථාවක බලයට පත්වන ජනාධිපතිවරයකු විධායක ක්‍රමයේ වෙනසක් සඳහා වරමක් පතන විට පාර්ලිමේන්තුව කැමැත්තෙන්ම එයට අනුමැතිය ලබා දෙනු ඇති බව ඔහුගේ විග්‍රහයයි.

"ඒ වගේම ඔහුගේ පිටිපස්සෙන් තියන බලවේගවල ශක්තිය උඩ ඔහුට ආපස්සට හැරෙන්න පුළුවන් කමක් නෑ."