ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඡන්දය දූෂිත වන බවට දැනටමත් තොරතුරු - චන්ද්‍රිකා

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙස ජාත්‍යන්තර රටවල් ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

මෙවර ජනාධිපතිවරණය අන්ත දූෂිත මැතිවරණයක් වනු ඇති බවට දැනටමත් තොරතුරු ලැබෙන බවයි හිටපු ජනාධිපතිනිය අඟහරුවාදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසුවේ.

අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ඉන්දික රාජපක්ෂ සහ මීරිගම ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී සෝමරත්න ජයනෙත්ති විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහාය ලබා දෙන බව දැනුම් දීම සඳහා මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණි.

මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරියගෙන් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ මැතිවරණ මෙහෙයුම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ විමසා සිටි අතර ඇය කියා සිටියේ කාලය අඩුවක් හැර අන් සියල්ල සාර්ථකව සිදු වෙමින් පවතින බවයි.

'අපේ මැතිවරණ ව්‍යාපාරය පටන් ගත්තේ සති තුනකට ඉස්සෙල්ලා. තව සති තුනයි අපට තියෙන්නේ. ඔක්කොම හයයි. මහින්ද රාජපක්ෂගේ මැතිවරණය පටන් ගත්තේ අවුරුදු දොළහකට පෙර. අහසට උඩින් කටවුට් ගහලා ආණ්ඩුවේ මුදල් වියදම් කරලා. සම්පුර්ණ නීති විරෝධී වැඩක්’ යනුවෙන් හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

අත්තනගල්ල

අතීතයේ බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුවක්ව පැවති වර්තමානයේ ජනාධිපතිවරයාගේ සොහොයුරා වන අමාත්‍ය බැසිල් රාජපක්ෂ නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කය ජය ගත හැකි දැයි බීබීසීය හිටපු ජනාධිපතිනියගෙන් විමසූ අතර ඇය කියා සිටියේ තමා සම්බන්ධ වූ කාර්යයක් වරදින්නේ නැති බවයි.

‘ගම්පහ දිස්ත්‍රික්කයේ අපි පරම්පරා විස්සක් විතර ඉඳලා තියනවා. බැසිල් රාජපක්ෂ යුඇන්පියේ අවුරුදු විසිතුනක් ඉඳලා අයියා ජනාධිපති වුනාට පස්සේ විතරයි ශ්‍රී ලංකා එකට ආවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිජබිම ගම්පහ සහ අත්තනගල්ල දිස්ත්‍රික්කය. අපි අත ගැහුවොත් ඒක වැරදෙන්නේ නැහැ’ යනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

මේ අතර අනිකුත් දිස්ත්‍රික්ක වල මෙන් ගම්පහ දිස්ත්‍රක්කයේද ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන පිරිස්වලට එරෙහිව විශාල භීෂණයක් සිදු වන බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.

පසු ගියදා අමාත්‍ය එස්බී දිසානායක හිටපු ජනාධිපතිනිය සම්බන්ධයෙන් කර තිබූ ප්‍රකාශයක් පිළිබඳ විමසු විට ඇය පැවසුවේ එවන් අපහාසාත්මක ප්‍රකාශවලට තමා පිළිතුරු නොදෙන බවයි.

තමාට පසු ගියදා පැවති ප්‍රචාරක රැළි කිහිපයකට සහභාගි වීමට නොහැකි වූයේ අසනීප තත්වයක් හේතුවෙන් බව පැවසූ හිටපු ජනාධිපතිනිය ඇයට මානසික ආතතියක් ඇතිවී තිබෙන බවට පළ වී තිබූ වාර්තා අසත්‍ය බවයි වැඩි දුරටත් කියා සිටියේ.