ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සුනාමිය: 'ගාථාවක් කියන්නවත් බැරි තරම් දුර්ගන්ධයක්'

ආසියානු කලාපයම විනාශ කළ සුනාමි රල පෙළ විසින් ශ්‍රී ලංකා වෙරළ තීරයේදී දස දහස් සංඛ්‍යාත ජීවිත බිලිගෙන වසර දහයක් ගෙවී ගිහින්.

මියගිය පිරිස තිස් දහසක් බව නිල වශයෙන් සඳහන් වුවත්, මළසිරුර හෝ හමුනොවී අතුරුදහන් වූ පිරිස ඊට වඩා ඉතා විශාල බවයි සැලකෙන්නේ.

කොළඹ සිට මාතර බලා ගමන් කරමින් තිබුණු දුම්රියක් පැරෑලියේදී සුනාමි රල පෙළට හසුවී විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වීම, ඒ ව්‍යසනයේදී ලොවපුරා ප්‍රබල අවධානයට පාත්‍ර වූ සිදුවීමක්.

පැරෑලිය ඇතුළු ප්‍රදේශවල සුනාමියෙන් අවතැන් වූ මහ ජනකායට සහන සැලසීමට, මෘත ශරීර ගොඩ ගැනීමට සහ මියගිය පිරිසගේ අවමගුල් මෙහෙයන් වෙනුවෙන් මුලින්ම ඉදිරිපත් වූ පිරිස අතර දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ ද වූහ.

'සිවුරු වැලලුවා'

මියගිය දස දහස් සංඛ්‍යාත පිරිසගේ අවමඟුල් කටයුතු කෙතරම් දුෂ්කර වූයේද යත් හඳුනාගත්, හඳුනානොගත් බොහෝ පිරිස් මිහිදන් කරනු ලැබුවේ සමූහ වශයෙන්.

"ආගම ගැන නොතකා මෙයාල මනුෂ්‍යයෝ නේද කියල අපිට සිද්ද වුනා ඔවුන් සියලු දෙනා වෙනුවෙන් ගෞරවනීය විදියට අවසන් ගෞරව දැක්වීමක් සිද්ද කරන්න," යනුවෙන් බද්දේගම සමිත හිමියන් සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ බද්දේගම, ගොතටුව විහාරස්ථානයේදී පසුගියදා එහිමියන් හමු වූ අවස්ථාවේදී.

"ගාථාවක් කියන්න කට අරින්න තරම්වත් පුලුවන් කමක් තිබුණේ නෑ, ඒතරම්ම දුර්ගන්ධයක් ප්‍රදේශය පුරා හමමින් තිබුණේ."

ඒ කාර්යය සඳහා උපකාරී වූ ගුවන් හමුදා භටයන් සහ ස්වේච්ඡා සේවකයනුත් එදා බොහෝ දුෂ්කර වාතාවරණයකට මුහුණ දුන් අන්දම එහිමියෝ සිහිපත් කරති.

"කොච්චරම කාරණේ බරපතලද කියල කිවුවොත්, උදේට ඇඳන් පිටත්වෙන සිවුරු කට්ටලේ වලලන්න සිද්ද වෙනවා පොලවේ මොකද සිවුරුවල අර මිනී ඉස්ම වැදිලා," යනුවෙන්ද එහිමියෝ පැවසූහ.

සුනාමියෙන් දස වසරක් පිරීම නිමිත්තෙන් බීබීසී සංදේශය ඉදිරිපත් කරන විශේෂ වැඩසටහන් මාලාවක්, මේ.