ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වඳුරඹ හංස රැලියට මැර ප්‍රහාරයක්

අද වඳුරඹ පැවැත්වීමට සංවිධානය කර තිබූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ රැලිය සඳහා ඉදි කෙරුණු වේදිකාව, ශබ්ද විකාශන යන්ත්‍ර සහ වාහන ද කිසිවෙකු විසින් ගිනි බත් කර විනාශ කර දමනු ලැබ තිබේ.

එම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව සම්බන්ධයෙන් සංවිධායකයන් ඇඟිල්ල දිගු කරන්නේ ආණ්ඩුව දෙසටයි.

ප්‍රදේශයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ප්‍රහාරය පිටුපස සිටින බවටයි විපක්ෂය චෝදනා කරන්නේ.

'අපි රැස්වීම පවත්වනවා'

එම රැස්වීම සංවිධානය කළ දකුණු පළාත් සභා මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ සිද්ධිය පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශකළේ මෙවැනි නින්දිත ප්‍රහාර මගින් ඔවුන්ගේ රැස්වීම කඩාකප්පල් කළ නොහැකි බවයි.

“අද උදේ පාන්දර අපේ රැස්වීම පවත්වන්න තිබුණ වේදිකාව ගිනි තියල කොළඹින් ආපු රුපියල් ලක්ෂ ගණනක් වටිනා ශබ්ද විකාශන යන්ත්‍ර ගිනි තියල තින්නෙ මේ වෙනකොට. ඒ වගේම ඒ ආපු වාහනේ ගිනි තියල තියනව. ඒ එක්ක ආපු තරුණයෝ තුන්දෙනෙක් අතුරුදහන් වෙලා තියනව. අපි මේ වෙනකොටත් හොයනව ශබ්ද විකාශන යන්ත්‍ර බාරව ආපු තරුණයො තුන්දෙනා කොහෙද කියල. මේවා මේ නගරයේ තියන සී සී ටී වී කැමරාවල සටහන් වෙන්න ඕන. යම්කිසි විදියකින් ඒ දර්ශන මකල දැම්මොත් එකේ වගකීමත් මේ රජය බාර ගන්න ඕන” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

'මගේ සම්බන්ධයක් නැහැ'

ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින එකම නියෝජ්‍ය ඇමතිවරයා නිශාන්ත මුතුහෙට්ටිගමයි.

එහෙත් ඔහු එම ප්‍රහාරයට තමා සම්බන්ධ නැති බවයි ප්‍රකාශ කළේ.

මේ අතර නගරයේ සිටි තවත් පිරිසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රුව සහිත මැතිවරණ ප්‍රචාරක පලක ඉරමින් ගිනි තබන ආකාරයද දක්නට ලැබුණි.

වඳුරඹ ප්‍රහාරය ගැන විමසීමට පොලි ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සම්බන්ධ කර ගැනීමට අපි ගත් සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූයේ ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන්.

මේ සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ පැෆරල් මැතිවරණ නිරීක්ෂණ ආයතනයේ රෝහණ හෙට්ටිආරච්චිට පවසන්නේ බලධාරීන්ට කරුණු පැහැදිලි කොට දේශීය මට්ටමේ මැදිහත් වීම් මගින් දැනට උද්ගතව ඇති ප්‍රචණ්ඩත්වය සමහන් කර ගැනීමට යත්න දරන බවයි.