ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආණ්ඩුව වදුරඹ ප්‍රහාරය හෙලා දකිනවා-කෙහෙළිය

ගාල්ලේ වඳුරඹ පොදු අපේක්ෂක ප්‍රචාරක රැළියේ වේදිකාවට සහ වාහනවලට ගිනි තබමින් ශබ්ද විකාශන යන්ත්‍ර විනාශ කර දමනු ලැබීම හෙලා දකින බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

‘දැඩි ලෙස හෙලා දකිනවා පමණක් නොවෙයි,පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා තරාතිරම් පක්ෂපාතිත්වයෙන් තොරව වහාම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස’ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කියා සිටියි.

වඳුරඹ ප්‍රහාරය පිළිබඳව දැන ගත් ජනාධිපතිවරයා ඊට වගකිවයුත්තන් වහාම අත්අඩංගුවට ගන්නා මෙන් නියෝග කළ බවයි ඇමතිවරයා වැඩි දුරටත් පවසන්නේ.

රජයක් හැටියට එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා නතර කිරීමට පියවර ගනිමින් ඇති බවත් ඔහු සඳහන් කරයි.

ප්‍රචණ්ඩ ක්‍රියා හැමදාමත්

ශ්‍රී ලංකාවේ මෙවැනි මැතිවරණ ව්‍යාපාරවල දී නිතරම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇති බවක් ද සිහිපත් කළ ඇමතිවරයා ශ්‍රී ලංකාවේ අඩුම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන්නේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ බවයි කියා සිටින්නේ.

පොලිසිය මැතිවරණ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකරන අතර ආණ්ඩු පක්ෂයේ නීති විරෝධී ප්‍රචාරක කටයුතු ඉදිරියේ නිහඬව සිටින බවට එල්ල වෙමින් ඇති චෝදනා පිළිබඳව බීබීසිය ප්‍රශ්න කළ විට කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ පිළිතුර වුනේ එය සහමුලින්ම අසත්‍යයක් බවයි.

Image caption ගිනි තබන ලද වඳුරඹ වේදිකාව

‘එය සහමුලින්ම අසත්‍යයක්. උදාහරණයක් හැටියට දෙසැම්බර් අට වෙනිදා රාත්‍රියේම මගේ ඡන්ද කොට්ඨාශයේ සියළු ‘කටවුට්’ ඉවත් කිරීමට පොලිසිය නියෝග කළා’ ඇමතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය සම්පත් ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයාගේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගනු ලැබීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට ජන මාධ්‍ය ඇමතිවරයා කියා සිටියේ රටේ සංවර්ධන කටයුතු ගැන ප්‍රචාරයක් දීමට ඒවා යොදා ගැනීමට සිදු වෙන බවයි.