ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'තවමත් අගවිනිසුරුවරිය වන මට දේශපාලනය නුසුදුසුයි' - ශිරාණි

තමා තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අග්‍රවිනිශ්චයකාරවරිය බැවින් දේශපාලනයට පිවිසීමේ අදහසක් නොමැති බව ධුරයෙන් පහ කළ හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක ප්‍රකාශ කළාය.

නඩු විභාගයක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් මතු කළ පැනයකට පිළිතුරු දෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.

“තවමත් මේ රටේ නිත්‍යානුකූල අගවිනිසුරුවරිය මමයි. ඒ බව ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තා තුනක් මගින් තහවුරු කර තිබෙනවා. ඉතිං දේශපාලනයට එම සුදුසු නොවන බවයි මාගේ විශ්වාසය” යනුවෙන් ඇය සඳහන් කළාය.

දෝෂාභියෝග යෝජනාවක් මගින් නෙරපා හැරීමෙන් පසුව තමන්ට සිදුවී ඇති අසාධාරණයන් පිළිබඳ ව ඇය ප්‍රථම වතාවට මාධ්‍යවලට අදහස් පළ කළේ මේ ආකාරයටයි.

“ඔබලා දන්නවා දැන් වසර දෙකක් තිස්සේ මාව නිවසට ම සිර කරලා තියෙන්නේ. විශ්‍රාම වැටුපක් නැහැ, පාරිතෝෂිකයක් නැහැ. අල්ලස් කොමිසම නඩු පැවරීමටත් පෙර මාගේ විදේශ ගමන් තහනම් කළා. මා හිතනවා මට යුක්තිය ඉටුවේවි කියා.” ඇය සඳහන් කළාය.

මේ අතර වත්කම් සහ බැර කම් නිසි පරිදි ප්‍රකාශ නො කළ බවට චෝදනා කරමින් හිටපු අග විනිසුරුවරියට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව අද කැඳවූ අතර එහි විභාගය ලබන පෙබරවාරි මස 24 වන දා දක්වා කල දැමිණ.