ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විවෘත විවාදය ගැන ජනපති තීරණයක් ගනීවි -කෙහෙළිය

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සමඟ විවෘත විවාදයකට පැමිණීම පිළිබඳව ජනාධිපතිවරයා තීරණය කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ, විවෘත විවාදයකට සහභාගී වන ලෙස පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා ජනාධිපතිවරයාට කළ අභියෝගය පිළිබඳව බීබීසීය විමසීමක් කළ අවස්ථාවේ දීයි.

‘විහිළුවක්’

පොදු අපේක්ෂකයා විසින් ජනාධිපතිවරයාට දින ලබා දෙනු ලැබීම ‘විහිළුවක්’ බවත් විවාදය පිළිබඳව ජනාධිපතිවරයා තීරණයක් ගනු ඇති බවත් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පැවසීය.

තමා සමඟ විවෘත විවාදයකට එක් වන ලෙස පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අභියෝග කළේ දිවුලපිටියේදී මහජන රැළියක් අමතමින්.

‘මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ආරාධනා කරනවා ජනවාරි පළමු වෙනිදාට මාත් එක්ක විවෘත විවාදයකට එන්න කියල ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය පිළිබඳව’ මෛත්‍රීපාල සිරිසේන අභියෝග කළේය.

මෙම අභියෝගය ජනාධිපතිවරයා භාර ගන්නේ දැයි බීබීසිය කළ විමසීමක දී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයාගේ සැබෑ විවාදය ඇත්තේ ජනතාව සමඟ බවයි.