ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'අඳුරෙන් එළියට එන්න' ජනපතිගෙන් උතුරට ආරාධනා

වසර තිහක කාලයක් ගෙවූ අඳුරු යුගය අවසන් කොට ලබා දුන් ආලෝකය ඔස්සේ උතුරේ වැසියන් දැන් අඳුරෙන් එළියට යායුතු කාලය එළඹ ඇතැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා උතුරේදී ප්‍රකාශ කරයි.

ජානාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද බ්‍රහස්පතින්දා කිළිනොච්චිය සහ මුලතිවු යන පළාත්වල පැවති ජන හමු දෙකක් අමතමින්.

ජනාධිපතිවරයා කියා සිටියේ වසර තිහක් ගත කළ එම අඳුරු යුගය යළි පැමිණීමට කිසිවෙකුත් ඉඩ නොදිය යුතු බවයි.

උතුරට අධ්‍යාපන පහසුකම්,විදුලිය පහසුකම්,මහා මාර්ග පහසුකම්, දුම්රිය පහසුකම් සලසා ඇත්තේ ඔවුන්ගේ යහපත උදෙසා යැයිද ජනාධිපතිවරයා පැවසුවේය.

උතුරේ වැසියන්ට ඉඩම් ඔප්පු ලබා දීම, ඔවුන්ගේ රත්තරන් බඩු ඔවුන්ටම ලබා දුන් ආකාරයෙන්ම තවත් ලැබිය යුතු පහසුකම් සියල්ලම ඉදිරියේදී පියවරෙන් පියවර ලබා දෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ජනපතිගෙන් ආරාධනාවක්

ජනතාවට සංවර්ධන කටයුතු වල ප්‍රතිලාභ ලබා දෙන අතරතුර සිසු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මහින්දෝදය විද්‍යාගාර වැනි පහසුකම් ලබා දෙන්නේ ඔවුන්ගේ අනාගතය යහපත් කිරීමට බවද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැවසුවේය.

වසර විසිහතකට පසුව උතුරු පළාත වෙනුවෙන් පළාත් සභා මැතිවරණයක් පැවැත්වූ අවස්ථාවේදී උතුරේ වැසියන්ට අවශ්‍ය නායකයින් පිරිසක් තෝරා ගත් ආකාරයෙන් මේ අවස්ථාවේදී ද රටට ගැලපෙන නායකයෙක් තෝරා ගැනීමට උතුරේ ජනතාව බුද්ධිමත් විය යුතුව ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

බොරු ප්‍රචාර

රජය සියලු ජාතීන්ට සහ ආගම් වලට එක සමානව සලකන බැවින් උතුරට පැමිණෙන වෙනත් නායකයින් විසින් ගෙන යන බොරු ප්‍රචාර වලට නොරැවටෙන ලෙසද උතුරේ වැසියන්ගෙන් මෙහිදී ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

ජාති භේද ආගම් භේද පතුරුවන දෙමළ නායකයින්ගේ දරුවන් ශ්‍රී ලංකාව තුළ නොමැති බව කී ජනාධිපතිවරයා එවැනි භේදයන්ගෙන් තොරව මේ රට සංවර්ධනය කිරීම සඳහා තමන් සමග එක් වන ලෙසටද ආරාධනය කළේය.

යාල්දේවී දුම් රියේ ශබ්දය ඇසෙන විට උතුරේ ජනතාව සතුටු වන්නා සේම තමන්ද සතුටු වන බව කී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාවගේ ඉල්ලීම මත යාල්දේවී දුම්රිය 19 දා සිට මාන්කුලම දුම්රිය ස්ථානයේද නතර කිරීමට පියවර ගන්නා බවත් කියා සිටියා.

රට සංවර්ධනය කිරීමට එක් වන ලෙස දෙමළ නායකයන්ගෙන් ඉල්ලා සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ සමහර අයට ශ්‍රී ලංකාව ආපස්සට ගෙන යාමට අවශ්‍යව ඇති බවයි කියා සිටියේ.

දෙමළ ජනතාවගේ අයිතීන්

මීට ප්‍රතිචාර දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා පැවසුවේ දෙමළ ජනතාවගේ අයිතීන් හෝ ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට ජනාධිපතිවරයා සූදානමක් නැති බවයි.

ජාතික ප්‍රශ්නයට විසඳුම නොබෙදුන රටක් තුළ සිදු විය යුතු බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට කලින් දන්වා තිබෙන බව ඔහු පැවසුවේය.

දෙමළ ජනතාව නැවත පදිංචි කරවීමේ ගැටළු මෙන්ම අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නොමැති බව පැවසූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා යුද හමුදාව යොදවා ජනතාව බිය ගැන්වීම දිගින් දිගටම සිදු වන බව කියා සිටියේය.

යළි එල්ටීටීඊ සංවිධානය ඇති කිරීමට මුළු උත්සාහය දරන්නේ දෙමළ ජනතාව හෝ දෙමළ ජාතික සන්ධානය නොව ශ්‍රී ලංකා ආණ්ඩුව බවට පෙනී යන්නේ යැයි ද දෙමළ ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.