ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘ධනුන මුදා හැරීම මගේ ඉල්ලීමක්’-ජයන්ත කැටගොඩ

ජනරාල් සරත් ෆොන්සේකා ගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න ඇප මත මුදා ගැනීමට හැකි වුණේ තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ පවත්වන ලද සාකච්ඡා නිසා යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පවසයි.

පසුගිය දා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක් වී සිටින මන්ත්‍රීවරයා බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, ඔහු පක්ෂය හැර දමා ආණ්ඩුවට එකතු වුණේ ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉහත කී ඉල්ලීම් වලට සහතිකයක් ලද හෙයින් බවයි.

‘ජනාධිපතිතුමා මගේ ඉල්ලීම් වලට එකඟතාවයක් පළ කළා. මම කිව්වා ,මා වෙනුවෙන් කරණ ඉල්ලීම නම් ජනරාල්තුමා සම්බන්ධයෙන් ඇති තහංචි වලින් එතුමා නිදහස් කරන එකයි කියල. ඒ ඉල්ලීමේ ප්‍රතිපලයක් වශයෙන් තමයි මේ නිදහස් කිරීමත් සිදු වුණේ’ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා කියා සිටියි.

මහින්ද රාජපක්ෂ පාලනය යට‍තේ ජනරාල් ෆොන්සේකාට දැන් පවතින තහංචි ඉවත් කළොත් ඔහු ජනාධිපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත් වීමට ඉඩකඩ ඇද්දැයි සංදේශය ප්‍රශ්න කළ විට මන්ත්‍රීවරයා කියා සිටියේ දේශපාලනයේ සදාකාලික සතුරන් නොමැති බවයි.

ෆොන්සේකාටත් සහන

ජනරාල් ෆොන්සේකාට එරෙහිව ආණ්ඩුව ඉදිරිපත් කර ඇති චෝදනා ඉවත් කර ගන්නා බවට ඔබට ප්‍රතිඥාවක් ලැබී තිබේදැයි විමසූ විට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ කියා සිටියේ එවැනි ප්‍රතිඥාවක් ලැබී ඇති බවයි.

‘අනිවාර්යයෙන්ම! ඒ වෙලාවේ ආරක්ෂක ලේකම්වරයාත් එතන සිටියා. ඒගැන එතුමාගේත් අවධානය යොමු වුනා. මේ දේවල් ක්‍රමයෙන් සිදු වෙනවා ඔබට දකින්න පුළුවන් වේවි’ ජයන්ත කැටගොඩ කියා සිටියි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ පවත්වන ලදැයි ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පවසන සාකච්ඡා ගැන විමසීමට රජයේ බලධාරියකු සම්බන්ධ කර ගැනීමට බීබීසී සංදේශය උත්සාහ කළත් එම උත්සාහය අසාර්ථක විය.

ඉහත කී ආකාරයේ නිදහස් කිරීම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ජනාධිපතිවරයාට ප්‍රතිපාදන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පවසයි.