ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මෛත්‍රීගෙන් රට හදන්න කාල සටහනක්

තමා ජනාධිපති වූ පසු LTTE ත්‍රස්තවාදයට, මැරකමට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට රටේ කිසිදු කොණකින් හිස එසවිය නොහැකි බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.

කොළඹ, විහාරමහාදේවි උද්‍යානයේ දී ‘‘මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්,’’ යන තේමාව යටතේ තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

අද දින එළිදැක්වුණු තවත් ප්‍රකාශනයක් මෛත්‍රී පාලනයේ දින සීයේ කෙටි වැඩපිළිවෙල.

ඒ අනුව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධාන පොරොන්දුවක් වන ව්‍යවස්ථා සංශෝධනය, ජනවාරි 21 වෙනි බදාදා දින 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනවාරි 10 වන දා තමා දිවුරුම් දී 11 වන දා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත්කර සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් පිහිටුවන බවද එහි සඳහන්.

ස්වාධීන මණ්ඩල

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ධුරයට පත් වී පළමු දින 100 තුළ ඉටු කිරීමට නියමිත සියලු කටයුතු දින වකවානු සහිතව දින සීයේ කෙටි වැඩපිළිවෙල මගින් ඉදිරිපත් කර ඇත.

කෙටි කාලීන සහන වැඩසටහන් අතර රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් ලබා දීමත්, ඉන්ධන වලින් රජය අය කරන තීරු බදු ඉවත් කිරීමත්, අත්‍යාවශ්‍ය ආහාර 10ක බදු අඩු කිරීමත් ඇතුළු තවත් කරුණු ගණනාවක් වේ.

ජනවාරි 30 වන දා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රාශියක ඍජු හා වක්‍ර බදු අඩුකිරීම මෙන්ම වැටුප් වැඩිකිරීම සිදුකරන බව යි එහි සඳහන් වන්නේ.

දින සීයේ සැලසුමේ දැක්වෙන්නේ ජාතික විගණන පනත හා තොරතුරු දැන ගැනීමේ පනත් පෙබරවාරි 19 හා 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

මේ අතර ලබන අප්‍රේල් මස 23 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරණ බව එහි දැක්වේ.

ජාත්‍යන්තර සබඳතා

ඉන්දියාව සහ බටහිර රටවල් සමග පවත්වන සබඳතා වර්ධනය කෙරෙන අතර සිවිල් යුද සමයේ සිදු විනැයි පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දක්වන අවධානය කෙරෙහි නිසි ප්‍රතිචාර දක්වන බව ද තම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියි.

ඔහු තව දුරටත් කියා සිටියේ රටේ රැකියා අවස්ථා සහ අපනයන වැඩි කිරීම සඳහා යුරෝපා සංගමය විසින් මීට වසර හතරකට පෙර අහිමි කරන ලද බදු සහන (ජීඑස්පී ප්ලස්) යළි ලබා ගැනීමට කටයුතු කරන බවයි.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට විශේෂ අභ්‍යන්තර අධිකරණයක් පිහිටුවන බව ද විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන නිකුත් කල පිටු 63 කින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙයි.

තමා ධුරයට පත් වුවහොත් රාජ්‍ය පරිපාලනය, පොලිසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය මෙහෙයවීම සඳහා ස්වාධීන මණ්ඩල පිහිටු වන බවයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ.

ශ්‍රී ලංකාවට යළි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන බව කියා සිටින පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන බෙදුම්වාදී කොටි සංවිධානයට යළි නැගී සිටීමට ඉඩ නොතබන බව ද කියා සිටියි.