‘අපට ගහද්දී පොලිසිය බලා සිටියා’- හපුතලේ විපක්ෂ නායක

Image copyright CAFFE
Image caption ඌව පළාත් සභා මැතිවරණයේදීත් මෙවැනි ප්‍රහාර වාර්තා විය.

ඌව පළාතේ හපුතලේ හින්දු සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේ සංවිධානය කර තිබුණ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක දී විපක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් අතර ගැටුමකින් කීප දෙනකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇති බව වාර්තා වෙයි.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ආධාර පිණිස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සංවිධානය කෙරුණ රැස්වීම් භූමියේ සවි කර තිබුණ ශබ්ද විකාශන යන්ත්‍රවල විදුලි රැහැන් කපා, කොඩි වැල් ගලවමින් සිටි පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් සමඟ ගැටුම ආරම්භ වූ බවයි රැස්වීමේ සංවිධායකයන් පවසන්නේ.

හපුතලේ නගර සභාවේ විපක්ෂ නායක ජගත් ප්‍රියන්ත අබේනායක එම ගැටුමේ දී තුවාල ලැබ රෝහල්ගත කරනු ලැබ සිටින අතර ඔහු රෝහලේ සිට බීබීසී සන්දේශයට කියා සිටියේ නගරාධිපතිවරයාගේ මෙහෙයුමෙන් ප්‍රහාරය එල්ල කෙරුණ බවයි.

‘අපි රැස්වීම සංවිධානය කරමින් ඉන්න කොට කණ්ඩායමක් ඇවිත් අපේ කොඩි කපල අපේ සවුන්ඩ්ස්වල වයර් කපල දැම්ම. ඊළඟට මට පොලුවලින් පහර දුන්නා. රන් පවුම් පහක් පමණ වන මගේ මාලයත් කඩා ගත්තා. පොලිසිය බලා සිටිද්දීයි අපට ගැහුවේ’ හපුතලේ නගර සභාවේ විපක්ෂ නායකයා පවසයි.

තවත් තැන්වල

සෙනසුරාදා (20) හපුතලේ සිදු වූ එම මැතිවරණ ප්‍රචණ්ඩ ප්‍රහාරය සම්බන්ධයෙන් බීබීසියට ප්‍රකාශයක් කළ සාධාරණ සහ නිදහස් මැතිවරණයක් සඳහා වන Caffe නිරීක්ෂණ සංවිධානයේ අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේ ප්‍රහාරය එල්ල කෙරෙද්දී හපුතලේ පොලිසිය කිසිදු පියවරක් නොගෙන බලා සිටි බව තමන්ට ද වාර්තා වී ඇති බවයි.

හපුතලේ ප්‍රහාරයට අමතරව වෙනත් ප්‍රදේශ වලත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රචාරක රැලිවලට බාධා සිදු කොට ඇති බවයි ඔහු පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර