ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිවුරෙන් ඇදල මට පහර දුන්නා -අම්පිටියේ සුමනරතන හිමි

මඩකලපුව මංගල ගම ප්‍රදේශවාසීන් තම ඡන්ද අයිතිය ඉල්ලා සාමකාමී විරෝධතාවක නියැලී සිටියදී පොලිස් ප්‍රහාරයකට ලක් වී ඇති බව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වන -කැෆේ- ආයතනය පවසයි.

මෙහිදී ගැබිණි මාතාවක්ද ප්‍රහාරයට ලක් වී ඇති බවත් එක් පුද්ගලයකුට නිරුවත් කර පහර දී ඇති බවත් කැෆේ ආයතනයේ ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසීයට ප්‍රකාශ කළේය.

Image copyright Ampitiye Sumanarathana Thero

යුද්ධයෙන් පසු මඩකලපුව ප්‍රදේශයේ යළි පදිංචියට පැමිණි සිංහල වැසියන්ට ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා සාමකාමී විරෝධතාවක යෙදී සිටියදී නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ තමන් වහන්සේට ද පහර දීමට පටන් ගත් බවයි අම්පිටියේ සුමනරතන හිමියන් බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

‘එක පාරටම මගේ සිවුරෙන් ඇදල අරගෙන මට පහර දෙන්නට පටන් ගත්ත. එතන හිටිය ඡන්ද අයිතිය නැති තරුණ පිරිසක් හාමුදුරුවන්ට ගහන්න එපා කියල කා ගැහුවා. මාව අත හැරියට පස්සේ එතන හිටිය බඩ දරු අම්ම කෙනෙකුට පහර දුන්න. ඒ අම්ම වැටුනා. මම ඒ අම්මව බේර ගෙන ඉස්සරහට තල්ලු කරනවත් එක්කම මාව බේරගත්ත තරුණයව අල්ලාගෙන ඇඳුම් ගලවල ජැකට් එකකින් මුහුණ වහල පහර දෙන්න පටන් ගත්ත.’ අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසුහ.

‘මම මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට පක්ෂපාතී වෙලා නැහැ. ජාතික අවශ්‍යතාවක් ඉටුකර ගන්නට මම කටයුතු කරන්නේ. අපේ අහිංසක ජනතාව යුද්දෙන් මේ රට බේරගත්ත ජනාධිපතිතුමාට ගරු කරනවා. නමුත් ජනාධිපතිතුමාට මේ සිද්ධිය මේ වන විට සැල වෙලා හමාරයි. අද පුළුවන්කමක් තියෙනවා මේ සිංහල ජනතාවට රෙදි ගලවලා ගහපු නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන්න. නමුත් මෙතෙක් එය වෙලා නැති එක ගැන අපි කනගාටු වෙනවා.’ අම්පිටියේ සුමනරතන හිමියෝ තව දුරටත් ප්‍රකාශ කළහ.

Image copyright Ampitiye Sumanarathana Thero

අම්පිටියේ සුමනරතන හිමියන් බීබීසීය සමඟ කළ සාකච්ඡාවේ සම්පුර්ණ හඬ පටය මෙම පිටුවට අමුණා ඇත.

මෙම ප්‍රහාරය පිළිබඳව පොලිසියේ ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා මඩකලපුව පොලිසිය ඇමතූ නමුත් ඔවුන් කියා සිටියේ ඒ ගැන කිසිවක් තමන්ට ප්‍රකාශ කළ නොහැකි අතර පොලිස් මාධ්‍ය අංශය අමතා විස්තර ලබා ගන්නා ලෙසයි.