රිෂාඩ් බදියුදීන් මෛත්‍රීට

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට රටේ සෑම පලාතකින් ම මහජන සහයෝගය ලැබෙමින් පවතිද්දී රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සහ නව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි විපක්ෂ සන්ධානයට එක් වූ බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

විපක්ෂ නායකයා එම ප්‍රකාශය කළේ ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයන් දෙදෙනා ආණ්ඩුව අත්හැර පොදු අපේක්‍ෂක ජනාධිපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත් වී සිටින බව ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවේදී.

‘පොදු අපේක්‍ෂකයාට ලැබෙන සහයෝගය දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. උතුරේ දකුණේ නැගෙනහිර සහ බටහිර මෙන්ම කඳුකරයේත් ජනතා සහයෝගය වැඩෙමින් පවතින මොහොතකයි, රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ඔහුගේ ඇමතිකම පූජා කරමින් අපට එකතු වී සිටින්නේ’ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වුන මාධ්‍ය හමුවේදී රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

ඔවුන් එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සහ සිංහල දෙමළ මුස්ලිම් සහ බර්ගර් ඇතුළු සියලු ම ජන කොටස්වල අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ශ්‍රී ලාංකිකයන හැටියට ජීවත්වීමේ අවස්ථාව සහතික කිරීමට වන බවයි විපක්ෂ නායකයා පවසන්නේ.

සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසයේ(ACMC) නායක කර්මාන්ත සහ වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් අද සඳුදා (22) උදෑසන පැවැත්වුන දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව සිය පක්ෂයේ තීන්දුව ගැනීමෙන් පසු කෙළින්ම එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත කරා ගොස් එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ඇමතිවරයා සමඟ විපක්‍ෂයට එක් වූ අමීර් අලි පාර්ලිමේන්තුවට පත් කෙරුනේ ඔහුට මග සැලසීම සඳහා ඒ.එච්.එම්.අස්වර් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවටයි.