ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිසු විරෝධතාවට පොලිස් ප්‍රහාරයක්

සරසවි සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලිස් ප්‍රහාරයට ලක් වී සිසුන් විසි හත් දෙනෙකු සහ මාධ්‍යවේදියෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පැවති එම විරෝධතාවට සහභාගි වූ සිසුහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලට පාගමනින් පැමිණෙමින් සිටියහ.

කැරලි මර්දන පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන අතරතුර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොලිසිය බැටන් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත් බවයි මෙම විරෝධතාව සංවිධානය කළ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු කසුන් සමරතුංග බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාවකදී කියා සිටියේ.

'නිරපරාදේ ගැහුවා'

‘දෙසැම්බර් පස් වැනිදා අපේ ඉල්ලීම් රැගෙන බලධාරීන් හමුවට ගියා. ඔවුන් සති දෙකකින් පිළිතුරු ලබා දෙන බවට පොරොන්දු වුනා. දැන් කියල එවල තියෙනවා පසුව දැනුම් දෙන්නම් කියල. අපි ආපහු ගියේ ඒ නිසයි. පොලිසිය නිරපරාදේ ගැහැණු ළමයින්ට පවා පහර දෙන්නට පටන් ගත්තා. රබර් උන්ඩ වලින් වෙඩි තිබ්බා.’ අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු කසුන් සමරතුංග පැවසීය.

විරෝධතාවට සහභාගී වූ සිසුන් හතර දෙනෙකු කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවත් දිගින් දිගටම ඊට විරෝධය පළ කරමින් සිසුන් රැඳී සිටීම නිසා පැය කිහිපයකට පසු ඔවුන් නිදහස් කර ගැනීමට හැකි වූ බවත් ඔහු බීබීසීයට පැවසීය.

මේ පිළිබඳව ප්‍රතිචාර ලබා ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇමතීමට බීබීසීය ගත් උත්සාහය අසාර්ථක විය.

වාණිජවේදී උපාධි සමානතාවය යළි බලාත්මක කරන ලෙසත් උසස් තාක්‍ෂණ ආයතන තුළ පාඨමාලා මුදලට විකිණීමේ යෝජනාව හකුළා ගන්නා ලෙසත් ශිෂ්‍ය නිදහස තහවුරු කරන ලෙසත් අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.