ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘දේශපාලනයේ හැටි මෙහෙමයි’- එස්.බී.

තමා අද මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා විවේචනය කළත් ඔහු ආණ්ඩුවෙන් ඉවත් වීමට පෙර එසේ නොකළේ එකම දේශපාලන පක්ෂයේ කටයුතු කළ නිසා යයි උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක පවසයි.

ඔහු එම අදහස පළ කලේ අද බදාදා(24) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වුන ආණ්ඩු පක්ෂයේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

‘දේශපාලන පක්ෂවල හැටි එහෙමයි’ උසස් අධ්‍යාපන ඇමතිවරයා කියා සිටියි.

‘ඔබ යළිත් පක්ෂය මාරු කළොත් ඔබටත් එවැනි විවේචන එල්ල වෙනවා නොවේදැයි’ මාධ්‍යවේදියකු විමසූ විට ‘එය එසේ විය හැකි බවත්’ උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක පිළිගත්තේ ය.

‘සමෘද්ධි මාලිගාව කියල මගේ ගෙදරට නම දැම්මා. උඩින් හෙලිකොප්ටරයෙන් ගිහින් මගේ ගේ බැලුවා. චන්ද්‍රිකා මැතිනිය මගේ වත්කම් ගැන පරීක්ෂණයක් කළා.අල්ලස් කොමිසම ඉදිරියේ මට නඩු දැම්මා. මම ඒවායෙන් නිදහස් වුනා’ එස්.බී.දිසානායක ඇමතිවරයා පවසයි.

වෙළෙඳ ඇමතිවරයා

එම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් වෙළෙඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ තම පවුලේ මත්පැන් ව්‍යාපාර ආරම්භ කෙරුණේ 1870 ගණන්වල බවයි.

‘එතනෝල් වලට අපේ කිසිම සම්බන්ධයක් නැහැ. අපි ඒවාට ගෑවිලා තියෙන බවක් ඔප්පු කළොත් මම දේශපාලනයෙන් සදාකාලිකව ඉවත් වෙන බවට අභියෝගයක් කරලා තියෙනවා’ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා පැවසීය.

ලංකා ඉතිහාසයේ කුඩු එතනෝල් සහ කැසිනෝ ආරම්භ කෙරුණේ එක්සත් ජාතික පක්ෂයේ පාලන සමයේ බවයි වෙළෙඳ ඇමතිවරයා කියා සිටින්නේ.

ඉහත කී මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායක එස්.එම්. සහිඩ්, සිය පක්ෂයේ නායක කර්මාන්ත සහ වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් පොදු අපේක්ෂකයාට එකතු වුනේ පක්ෂයේ තීන්දුවක් අනුව නොව පෞද්ගලික තීරණයක් අනුව වන බවයි කියා සිටියේ.