ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'යහ පාලනය තිබෙනවා' - හම්බන්තොට නගරාධිපති

වීදි නාට්‍ය කණ්ඩායමකට සහ විපක්ෂ දේශපාලන ක්‍රියාධරයන්ට පහර දීම සහ බිය වැද්දීම යන චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන සිටි හම්බන්තොට නගරාධිපතිවරයා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා නියම කළේය.

විශාරද ජයතිලක බණ්ඩාර සංගීතවේදියාණන් ප්‍රමුඛ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළත් “වියරුවට එරෙහිව වීදියේ විරෝධය‘ සංවිධානය විසින් හම්බන්තොට නගරයේ දී පසුගිය 21 දා විදි නාට්‍යයක් පැවැත්වීමට ගිය අතරතුර එම නාට්‍ය කණ්ඩායමට හා හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක අයුබ් කාන් මහතාට පහර දුන් බවටයි නගරාධිපතිවරයා එරෙහිව තිබූ චෝදනාව වන්නේ.

උණුසුම් පිළිගැනීමක්

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ව සිටි නගරාධිපති එරාජ් ප්‍රනාන්දු අද නිදහස ලැබූ මොහොතේ ආධාරකරුවන් විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබූ අතර ඔහු පිරිස සමග ජය ඝෝෂා නගමින් වීදි සංචාරයේ යෙදෙනු දක්නට ලැබුණි.

මේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ජයග්‍රහණය ලබා දීම වෙනුවෙන් දින ගණනක්, මාස ගණනක් නොව වසර ගණනාවක් වුවද සිරගත වී සිටීමට තමන් ඇතුළු හම්බන්තොට ජනතාව සුදානම් බවයි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

'යහ පාලනය තියනවා'

“නීතියේ ආධිපත්‍ය යහ පාලනය නැහැ කියලා විරුද්ධ පක්ෂය මාධ්‍ය වලට කියනවා නමුත් නීතියේ ආධිපත්‍ය රැක්කේ අපි. අයුතු ජන රාශියේ චෝදනාව දන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ විධි නාට්‍ය කණ්ඩායමට. දෙසීයක් පමණ පිරිසක් පැමිණිලා මහ නගර සභාවේ හෝ පොලිසියේ අවසරයක් නැතිව පවත් වන්න යද්දී මම දෙදෙනෙක් එක්ක හම්බන්තොට බස් නැවතුම් පොලේ හිටියේ මගේ පුද්ගලික කටයුත්තකට ගිහින්. ඒ වෙලාවේ එතන හිටපු හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක අයුබ් කාන් මහතා පැවසුවා අපි රජය පෙරළන්න 9 වෙනිදා කටයුතු කරනවා මේ පවුල් පාලනය පලවා හරින්න අද වෙඩි මුරයක් තබනවා කියලා. මම ඇහුව පොලිසියේ හරි අවසරයක් තියෙනව ද කියලා පසුව ඔහු මාව අවසරය පෙන්නන්න කියලා ඒ අය අතරට එක්කන් ගියා. පසුව ඒ අය මට පහර දෙන්න හදන කොට නගරයේ ජනතාව කුපිත වෙලා ඒ පිටතින් පැමිණි අය පලවා හැරියෙ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේ තමාව අත් අඩංගුවේ රඳවා තැබීම මගින් මහින්ද රාජපක්ෂ රජයේ යහ පාලනය පිළිබඳව හොඳ සාක්ෂියක් ලැබෙන බව පවසමින්.