නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිවරයාට වරෙන්තු

නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිවරයා අත්අඩංගුවට ගන්නා මෙන් බද්දේගම මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කරයි.

වඳුරඹ ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු වඳුරඹ පොලිස් අත්අඩංගුවේ සිටියදී පැහැරගෙන ගිය බවට නියෝජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.

පැහැර ගෙන යාම

එම සැකකරුවන් බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට අනුබල දුන් බවට චෝදනා ලැබූ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිවරයාගේ රාජකාරි සඳහා යොදවා සිටි, අත් අඩංගුවේ පසුවූ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් තිදෙනෙකු අද, බදාදා අධිකරණයට ඉදිරිපත් කොට තිබිණ.

බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට නියෝග කළේය.

වරෙන්තු

එම තිදෙනා නිදහස් කලත්, ප්‍රධාන සැකකරුවන් වන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ ඔහුගේ රියදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කෙරිණ.

මේ අනුව, වඳුරඹ දී මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වීමට සූදානම් කළ ස්ථානයට ගිනි තබා අලාබ හානි සිදු කිරීම සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන දෙසැම්බර් 29 වැනිදා සිද්ධියට අදාලව පොලීසිය මුලින් අත් අඩංගුවට ගත් තිදෙනාත්, අද, බදාදා ඇප මත නිදහස් කළ තිදෙනාත් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ ඔහුගේ රියදුරාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ නියෝජ්‍ය ඇමතිවරයා සහ රියදුරු ඉදිරි දින කිහිපය ඇතුළතදී අධිකරණයට බාරවීමට බලාපොරොත්තු වන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර